Monday, July 20, 2015

මේ තරම් සියුමැළි ද කළුගල්?

මේ තරම් සියුමැළි ද කළුගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස දුන් මිනිසා සොයා
කලාවැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා
ඉසුරු මුණියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැනද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තාම තනිකඩ යැයි කියා..
බොහෝ විට යම්කිසි නිර්මාණයක් ගැන කරන කතාබහකදී එයට සැබවින්ම දායක වූ නිර්මාණ ශිල්පියා පිළිබඳ සදහන් තරනුයේ අල්ප මාත්‍රවය.සීගිරිය ගැන කතාබහ කරන විට කාශ්‍යප රජ පිළිබඳව මිස එහි නිර්මාණ ශිල්පියා ගැන කතාබහ නොකරයි.ටජ් මහල ගැනද එසේමය.සාජහන් රජ පිළබඳ මිස එහි ගෘහ නිර්මාණ ශිල්පියා ගැන කිසිවෙක් කතාබහ නොකරයි.ගීතයක් පිළිබඳව වුවද තත්වය එසේමය.එහි ගායකයා පිළිබඳ ඉහලින් වර්ණනා කළත් රචකයා හා සංගීතඥයා පිළිබඳ සඳහන් කරනුයේ ස්වල්ප වශයෙනි.අඩුපාඩුවක් තිබුනහොත් නම් ඔවුන්ද ඈදා ගනී.
කෙසේ වුවත් නිර්මාණ ශිල්පියෙකු පිළිබදව කතාබහ කරන ගීතයක් අපට මෑත කාලයේදී අසන්නට ලැබුණි.ඒ 'සුනිල් එදිරිසිංහ' මහතා විසින් ගායනා කරනු ලබන මේ තරම් සියුමැළි ද කළුගල් නම් අපූර්ව ගීතයයි.
කළුගල් මෙතරම් ම සියුමැළිද? යනුවෙන් කථකයා තුළ ප්‍රශ්නයක් හටගනී.එය ඔහුට සිතන්නට වත් නොහැකි කරුණකි.එහෙයිනි කළුගල් අගනා පිළිම බවට පත් කරන කලාකරුවා සොයා යන්නට ඔහු පිටත් වන්නේ.එහිදී ඔහුට එම අගනා ප්‍රතිමා නෙළන නිර්මාණශිල්පියා හමුවේ.ඔහු දකින කථකයා තුළ මෙන්ම අප හද තුළද එතී කළාකරුවා පිළබද සංවේගයක් හටගනී.ඔහු සිටිනුයේ කලා වැව අසල ඉලුක් සෙවණක මැටි පැදුරක් මතය.ඒ තුළින් ඔහුගේ දුක්ඛිත ජීවිතය රූපණය වේ.තම ගතෙහි හටගන්නා වේදනාව සුවපත් කරගනුයේ රිදුම් පිරිමදිමින් කලා වැවේ රළ දෙස බලා සිටිමින්ය. 'මැරෙන ඉපදෙන රළ' ජීවිතයේ අනිත්‍යතාවය සංකේතවත් කරයි.මේ කලාකරුවාද තරමක් දුරට හෝ ජීවිතයේ අනිත්‍යතාවය තේරුම් ගෙන ඇත.එහෙයිනි ඔහුට එවැනි අගනා නිර්මාණ කිරීමට හැකියාවක් තිබෙනුයෙ.
ඉසුරු මුණියේ කළුගලක ඔහු තැනූ පෙම්බරිය සියිනුයේ කොහිදැයි?විමසන කථකයාට ඔහු පිළිතුරු දෙනුයේ සිනහවකිනි.ඒ සිනහව තුළ සැගවී ඇති පිළිතුර වන්නේ තමා තවමත් තනිකඩයකු යන්නයි. මෙම අපූර්ව ගීතය තුළින් දුප්පත් කලාකරුවකුගේ ජීවිතය අව්‍යාජ ලෙසත් රසිකයාගේ සිතෙහි සංවේගයක් ඇතිවන ආකාරයෙනුත් නිරූපණය කිරීමට එහි නිර්මාණකරුවන් සමත්කම් දක්වා ඇත.එසේම මෙය කලකට පසුව සිංහල ගීත සාහිත්‍යයට එක්වූ අගනා ගී මිණකි.මෙහි පද රචනය 'රජී වසන්ත වෙල්ගම' වන අතර සංගීතය රුවන් දර්ශන දිසානායකයන්ගෙනි.ඔවුන් දෙදෙනාම තරුණ නිර්මාණ ශිල්පීන් දෙදෙනකි.එසේම සුපුරුදු පරිදි ඔබ සැමගෙන් මේ පිළිබඳව අදහස් බලාපොරොත්තු වෙමි.

කුමාර.එන්.ඩබ්.ජේ(ලක්මාල් රංග කුමාර)


No comments:

Post a Comment