ලොව හටගන්නා වූ සෑම ප්‍රේමයක්ම විවාහයෙන් කෙළවර වන්නේ නම් හොඳය.නමුත් එය
එසේ නොවන්නේය.ඇතමුන්ට අවසානයේ හිමි වනුයේ විරහව වේදනාව පමණි.කුලය,වර්ගය
ධනය,කේන්දරය,කන්‍යා භාවය වැනි බාහිර බලවේගයට කොතරම් සවිමත් ප්‍රේමයක් වුවද
බිඳ දැමිය හැකිය.එතරම්ම එම බලවේග ලාංකීය සමාජය තුළ සවිමත්ය.එවැනි පරාජිත
ප්‍රේමයක් ගැන කියන්නා වූ නිර්මාණයක් ලෙසින් මෙම ගීතය හැඳින්විය හැකිය.
මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි
දෛවය පුදුමාකාරය.ඔවුන් දෙදෙනා එකිනෙකා මුණගස්වා ඇත්තේ මෙම නගරය තුළදීය.එසේම
ඔවුන් දෙදෙනා වෙන් කරනු ලබන්නේද එම නගරයේදීමය.එම නගරයට පැමිණෙන ඔහුට තම
අතීත ප්‍රේමයේ මතක සැමරුම් සිහිපත් වේ.
වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා
ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
වැව් ඉවුරේ වැදී බිඳෙන රළපෙළ ඔවුන්ගේ බිදුණු ප්‍රේමය සංකේතවත්
කරයි.කඳුරැල්ලෙන් එතෙර පිහිටි සරසවි බිම ඔහුට සිහිපත් වේ.එනම් පේරාදෙණි
සරසවි බිමයි.ඒ ඔවුන්ගේ ප්‍රේමය උපන් බිමයි.පේරාදෙණි සරසවි බිම හා අවට
පරිසරය ප්‍රේමයට කදිම තෝතැන්නකි. නැවතත් ඇය සමග එහි යන්නට ඇත්නම් කියා ඔහු
සිතයි.ඔහු එතරම්ම එම අතීතයට පෙම් කරයි.නමුත් ඔහුට එය කළ නොහැක.එසේම ඔහුද
දැන් විවාහකයෙකි.එදා ඔහු ඈ සමග ගිය මතක මාවත්හි තම බිරිද සමග ගමන් කරයි.අද
ඔහුගේ සුළැගිල්ලේ එන්නේ පුංචි පුතණුවන්ය.අපට කොපමණ පැතුම් පැතිය හැකි වුවද
පතනා පැතුම් සියල්ලම ඉටු නොවේ.මොහුට එදා තමා පැතූ පැතුම් සිහිපත් වේ.එහෙත්
ඒවා ඉටු වී නොමැත.ඔහුට ජීවිතයම සිහිනයක් යැයි සිතේ.නමුත් එය සිහිනයක්
නොවේ.එය ඔහුගේ හා ඇගේ වෙන්වීමයි.
මෙම සොදුරුතම ගීතයේ පද රචනය ප්‍රේමකීර්ති ද අල්විස් මහතාගෙනි.ස්වර රචනය හා
ගායනය මර්වින් පෙරේරා නම් වූ සොදුරු සංගීතවේදියාගෙනි.එමෙන්ම කථිකාචාර්ය
බිහේෂ් සම්පත්(බිහේෂ් සර්) බැතියෙන් සිහිපත් කරනවා.එතුමාය අපව ගීත
රසවින්දනට හුරු කළේ.එමෙන්ම මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ "ගීමිණිආර"
කෘතියද උපකාරී වූ බැව් සිහිපත් කරමි.
No comments:
Post a Comment