Monday, July 20, 2015

බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි - දම් පාටින් ළා සඳ බැස යනවා


















ජීවිතේ කවියක්...
ආදරේ එහි සොඳුරුතම වදනක්...
     
        ජීවිතය කවියක් නම් ආදරය එහි සොඳුරුතම වදනක් වන්නේය.එකී සොඳුරුතම වදනට ආදරවන්තයින්ගේ මුවට හසරුල්ලක් සේම දෙනෙතට කඳුලක්ද එක් කළ හැකිය.මන්ද ප්‍රේමය වූ කලී මිනිසාගේ හඳ පත්ලෙන්ම එන්නක් බැවිනි.මා මේ කතාකරනුයේ බොලඳ පාසල් වියේ ප්‍රේමය පිළිබඳ නම් නොව අධ්‍යාත්මීය ප්‍රේමය පිළිබඳවයි.එය රාගයෙන් තොර වූද පරම පිවිතුරු ද වන්නකි.එය හුදු ආකර්ෂණයක් නොවන්නේය.මා කලින් කීවාක් මෙන් ආදරය නම් වූ සොඳුරු වදනට ආදරවන්තයිනගේ දෙනතට කඳුලක් එක් කළ හැකිය.ඒ කඳුල ඇතිවනුයේ පෙම්වතුන්ගේ වියෝගයෙන් ඇතිවන්නා වූ ශෝකය හේතුවෙනි.එකී ශෝකයද සාහිත්‍යයේ රසයක් ලෙසින් සැලකේ.එය විප්‍රලම්භ ශෘංගාරය ලෙසින් හඳුන්වයි.මා විසින් රසවින්දනයට ලක් කරනු ලබන ගීතය තුළින් ප්‍රතාශ වනුයේ විප්‍රලම්භ ශෘංගාරයමැයි.වියෝ දකින් සිටින නොසිටින බොහෝ දෙනාගේ හඳ බැඳි ඉතා රමණීය ගී කාව්‍යයක් ලෙසින් මෙය හැඳින්විය හැකිය.
දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
පෙම්වතුන්ට උචිත අයුරින් පරිසරයද සැකසී ඇත.දම් පැහැයෙන් යුතුව ළා සඳ බැස යයි.ආකාසය රන්වන් පැහැයෙන් දිළෙයි.සඳ බැසගෙන යන්නේ කිනම් අවස්ථාවකද?ඒ අළුයම් කාලයයි.තව නොබෝ වේලාවකින් හිරු උදාවනු ඇත.එවිට මොවුන් දෙදෙනාම වෙන් විය යුතුය.එය තව මොහොතකින් උදාවනු ඇත.එහෙත් පෙම්වතා ගොළු වී ඇත්තේය. පෙම්වතිය පෙම්වතාගෙන් අසනුයේ "ඇයි අපි දෙන්නා වෙන්වෙන වෙලාවෙත් ඔයා ගොළුවෙලා ඉන්නෙ?ඔයාට කියන්න දෙයක් නැද්ද?"
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වී යන මොහොතක් නෑෙඟයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මම්
පෙම්වතා ඇයගේ පැනයට පිළිතුරු සපයන්නෙ මේ කොටසින්."මම ගොළු වෙලා ඉන්නෙ ඔයාගෙ ඇස් දෙකට හුඟාක් ලං වෙලා ඉන්න නිසා.මට ඔයාළඟට වෙලා ඉන්නකොට මේ අපි දෙන්න වෙන් වෙන්න ඕන වෙලාව කියලවත් දැනෙන්නෙ නෑ ".යනුවෙන් පෙම්වතා පෙමවතියට පිළිතුරු සපයයි.පෙම්වතුන් දෑසට දෑස මුණගැසුණු කල ඔවුන් මුවින් ගොළුවන්නේය.එතැන් සිට ඔවුන් යෙදෙනුයේ ලෝචන සංවාදයකය.මොවුන් දෙදෙනාද එසේ ලෝචන සංවාදයකය යෙදෙනුයේ.පෙම්වතාට ඇයගේ මුහුණ දිස්වනුයේද දම්පැහැති සඳක් ලෙසිනි.
සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතු දා
පෙම්වතාගේ වෙන්වීම ඇයට කිසිලෙසකින් වත් දරාගත නොහැකිය.මන්ද එය හඳ පත්ලෙන් ම නැඟී ප්‍රේමයකි.එමෙන්ම එය ගැඹුරු අධ්‍යාත්මීය ප්‍රේමයකි.ඔහුගේ වෙන්වීමත් සමඟ ඇයට දරාගත නොහැකි තනිකමකි හට ගනුයේ..එකී තනිය මකාගැනීමට බිත්තිය පුරා ඔහුගේ සෙවණැලි සිතුවම් කරයි.ඇය සෙවණැලි නොමැකේවා!එළිය කළු ‍නොවේවායි! ලෙසින් පතයි. තනිවූ පෙව්වතුන් තුළ ඇත්තේ එවැනි ප්‍රාර්ථනාවන් මිස අන් කවරක්ද?ඇයගේ ශෝකී මනෝභාවයන් ඉතා සංවේදී ලෙසින් රසික මනසෙහි සිතුවම් කිරීමට මෙහි රචකයා සමර්ථ වී ඇත.
රෑ කල දිගු වේ නම්
ළා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා
රාත්‍රිය දීර්ඝ වේවා යැයිද?ළා සඳ නොමැකේවා!යි ඔහු ද ප්‍රාර්ථනා කරයි.මන්ද එවිටය ඔහුට ඇය සමඟින් තවත් මොහොතක් හෝ රැඳී සිටිය හැක්කේ.නෙළුම් පතක පිනි බිංදුවක් රැඳී තිබෙන්නාක් මෙන් ඇය හා විසීමට ඔහු පතයි.පිනි බිංදුව හිරුගේ ආලෝකයේ රශ්මියට ක්ෂය වී යන්නාසේම ඔහුට ද ආලෝකය උදා වූ විගස ඇය හැර දා යා යුතුය!ප්‍රමාද වී හිරු නැගෙන ලෙසින් ඔහු ප්‍රාර්ථනා කරයි.මන්ද තම පෙම්වතියගෙන් වෙන්වීම ඔහුටද දරාගත නොහැකි වේදනාවක් හා තනිකමකි ඇති කරනුයේ.
මෙම ගීතය ගායනා කරනු ලබන්නේ විශාරද ගුණදාස කපුගේ සමගින් විශාරද මාලීනී බුලත් සිංහලයන්ගෙනි.ස්වර රචනය ඔස්ටින් මුණසිංහගෙනි.මෙහු මෙම ගීතයට ඉතා රමණීය ලෙසින් සංගීතය එක්කොට ඇත.මෙහි ගේය පද රචනය ලූෂන් බුලත්සිංහලගෙනි.ඔහුගේ විශිෂ්ට පදරචනාවට ඔස්ටින්මුණසිංහගෙනිඉතා රමණීය ලෙසින් සංගීතයත් ගුණදාස කපුගේ හා මාලනී බුලත්සිංහලගේ හඬත් මැනවින් සංයෝජනය වී ඇත.ගීතය යනු සංගීතය,ගායනය එා පද රචනය යන ත්‍රිලක්ෂණයේ අපූර්ව එකතුවක් බැව් මෙම ගීතයෙන් ප්‍රතීයමාන නොවන්නෙහිද?
ගීතයට මෙතනින් නරඹන්න.



No comments:

Post a Comment