Monday, July 20, 2015

මගෙ බිසවුනේ අසාපන්

වර්තමාන සමාජය තුළ අඹුසැමියන්ට හා දරුවන්ට එක්ව විසීමට ලැබෙන ඉඩ ප්‍රස්තාව සීමිතය.ඊට හේතුව වශයෙන් දැක්විය හැක්කේ වර්තමාන සංකීර්ණ ජීවන රටාවයි.මෙම ස්වාමියාට තම අඹුදරුවන්ගෙන් වෙන්ව යෑමට සිදුව තිබේ.ඒ රැකියාව කිරීමටයි.ඔහුට යාමට සිදුව ඇත්තේ දුෂ්කර පළාතකටය.වෙස්සන්තර රජු තපසට යනවිට මද්‍රි දේවිය ද ඔහු සමග පැමිණියා මෙන් කථකයාගේ බිරිඳ කථකයා සමග එන්නට සැරසෙයි.නමුත් ඔහුට ඇය රැගෙන යා නොහැක,මන්ද ඔහු යාමට සිදුව ඇත්තේ දුෂ්කර පළාතකට.ඇයද ඔහු සමඟ ගියහොත් ඇයට සිදු වන්නේ මහත් හිරිහැර වලට මුහුණ දීමටය.
මගෙ බිසවුනේ අසාපන්
නුඹ මන්ද්‍රි දේවි නොවුනේ
දුෂ්කර වු ඒ පලාතේ
මට යන්න දෙන්න දේවී
ඔහු සමග එන්නට සූදානම් වන බිරිදට,ඇය රැගෙන යාමට නොහැකි හේතු පැහැදිලි කරයි.ඇයට ගොස් නවතින්නට සිදුවන්නේ කුළී නිවසකය.එය විෂඝෝර සර්පවිමනකි.කිසිදු පහසුකමක් නැත.කලට වේලාවට කුළී ගෙවිය යුතුය.එසේ නොවන විට අසන්නට සිදුවන්නේ කුණු බැණුම්ය.ඉවත්ව යන්නට යැයි කීවිට ඉවත්ව යා යුතුය.නැතිනම් තර්ජන-ගර්ජන,නඩුහබ වලට මුහුණ දීමට සිදුවේ.
මේ කදුළු ඇයිද දෑසේ 
බෑ යන්ට නුඹට හිමයේ
ගොස් ඉන්ට කුළී නිවසේ
විෂ ඝෝර සර්ප භවනේ
ඔහු තම බිරිද සඳකටද දරු පැටව් එහි නිදන සා පැටවුටද උපමා කරයි.එමගින් මව හා දරුවන් අතර පවතින්නා වූ සබැදියාවත්,ඔවුන්ගේ මුදු මොළොක් සෞම්‍ය බවත් සංකේතවත් කරයි.එසේම තමා සමඟ ඇය ද ගියහොත් දරුවන්ට බොහෝ විපත්තිවලට මුහුණ දීමට සිදුවනු ඇත.ඇතැම්විට තම දරුවන්ට හාමතේ සිටින්නට සිදුවනු ඇත.එහෙයින් ඇයට තමා සමඟ නොඑන්නයි ඔහු ඉල්ලයි.
නුඹ චන්ද්‍ර මඩල වැන්නේ 
සා පැටවු එහි නිදන්නේ
හාමතේ නොලා දරුවෝ
නවතින්න බිසවු නගරේ
පවුල් ජීවිතය තුළ ඇතිවන්නා අගහිගකම් වල ප්‍රතිපලයක් ලෙස ඇතැම් සැමියන්ට තම බිරිද එතෙර රටවලට යැවීමට සිදුවේ.එසේ විදෙස් ගතවන කාන්තාවන්ට,තම හාම්පුතුන්ගෙන් සිදුවන හිරිහැර,අතවර නිමක් නොමැත.දරුවන්ටද අනේක දුක්දොම්නස් විදින්නට සිදුවේ.ඇතැම් සැමියෝ බේබදු කමට හැරෙති.ඇතැම් දුප්පත් පියවරු තම දරුවන් වහල් කමට යවයි.එසේ වහල් කමට යන දරුවන්ට,තම හාම්පුතුන්ගෙන් නිමක් නැති කරදර,හිරිහැර වලට ලක්වීමට සිදුවේ.නමුත් මෙහි කථකයා කියනුයේ ඒ කිසිවක් නොකොට තමාගේ දිවිය වුවද පුදා බිරිද හා දරුවන් රැකගන්නා බව කියයි.එහෙයින් නගරයෙහි නවතින මෙන් බිරිදගෙන් ඉල්ලා සිටී.ඊටත් වඩා දෙයක් සැමියෙක්ට,පියෙක්ට තම පවුල වෙනුවෙන් කළ හැකිද?මෙය උතුම් වූ කැපකිරීමක් නොවේද?
නුඹ නොදී එතෙර රටටා
දරු නොදී වහල් කමටා
දිවි පුදා තොප රකින්නම්
නොපුරා එහෙත් පෙරුම් දම්
මෙම අර්ථපූර්ණ,මනෝහර ගීතයේ ගේයපද රචකයා වනුයේ රත්න ශ්‍රී විජේසංහයි.මෙහි ස්වර රචනය හා ගායනය සංගීතඥ ගුණදාස කපුගේ විසිනි.එමෙන්ම කථිකාචාර්ය බිහේෂ් සම්පත්(බිහේෂ් සර්) බැතියෙන් සිහිපත් කරනවා.එතුමාය අපව ගීත රසවින්දනට හුරු කළේ.එමෙන්ම මහාචාර්ය සුචරිත ගම්ලත් මහතාගේ "ගීමිණිආර" කෘතියද උපකාරී වූ බැව් සිහිපත් කරමි.
මෙතනින් ගීතය අහන්න 

No comments:

Post a Comment