Monday, July 20, 2015

සමස්ත පියවරුන් වෙනුවෙන් ගැයෙනා විශිෂ්ට පියගුණ ගීතය - අන්දරයායේ වැව් තාවුල්ලේ

පියා නැතිතම් "අප්පච්චි" යනු අපේ ජීවිතයේට එළිය දුන්නු තවත් එක් චරිතයක්.මවට ගෙදර බුදුන් කියනවාක් මෙන් පියාට නොකිවුවද,පියා ද ඒ හා සමාන වූ පූජනීයත්වයෙන් අදහන චරිතයකි.මවගෙ ආදරය මෙන්ම පියාගෙ රැකවරණය ද අපට මහ මෙරක් තරම් වටී.ඒ නිසාම පියාට අප ජීවිතයෙ සුවිශේෂි තැනක් හිමිවේ.මව් සෙනෙහස ගැන තරමටම පිය සෙනෙහස ගැන ගී ගියැවී නැතත් පිය සෙනෙහස ගැනත් යම් තරමකට හෝ ගී ලියැවී ඇත.ඒ අඩුවය ටී.එම් ජයරත්නයන් ඉගිකරනුයේ "පිය සෙනෙහසට කව් ගී ලියවුණා" මදි යනුවෙන් .එසේ පිය සෙනෙහස ගැන ලියවුණු අල්පයක් තරම් වු ගී අතුරින් ඉතා විශිෂ්ට නිර්මාණයකි "අන්දර යායේ වැව් තාවුල්ලේ" නම් වූ සොදුරුතම ගීතය.මෙහි පද රචකයා වන්නේ ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයෙකු වන "කුමාර ලියනගේ" මහතාය.මෙම ගීතය රචනා කිරීමේදී එතුමාගේ පියා වස්තු විෂය කොටගත්තද,මෙය සමස්ත පියවරුන් වෙනුවෙන්ම රචනා කරන ලද විශිෂ්ට පියගුණ ගීතයකි.
මෙම අපූර්වතම ගීතය ගැන කුමාර ලියනගේ මහතා මෑතකදී දැක්වූ අදහසකි මේ
"වෘත්තියෙන් ගුරුවරයකු වූ, පොළොව එක්ක ඔට්ටු වුණු තාත්තා ගේ දේහය මට දෑසින් දැක ගන්නට ලැබුණේ නැත. ඒ වනවිට මාරාන්තික ලියුකේමියා රෝගයෙන් පෙළෙමින්, මහරගම පිළීකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එකම සහෝදරයා දැඩි ලෙස ගිලන් ව සිටි බැවින් ඔහු දමා තාත්තා ගේ මළගමට යෑමට මට ද නොහැකි විණි. පසුව නිවසට ගිය විට මට දෑසින් දැක ගන්නට ලැබුණේ තාත්තා ආදාහනය කෙරුණු සොහොන පමණි."
මෙම ගීතයට සංතීතය නිර්මාණය කළ "රෝහණ ධර්මකීර්ති" නම් වූ සංගීතවේදියා සිළුමිණ පුවත්පතට පළකොට තිබූ අදහසකි පහත දැක්වෙනුයේ.
“මේ ගීතය මටත් සුවිශේෂී අත්දැකීමක් වුණා. මගේ පියාත් අප යහමග යවා රටට වැඩදායි පුද්ගලයින් කරන්නට වෙහෙසුණු දහසක් සිසුන්ට මග නොමඟ කියා දුන් විදුහල්පතිවරයෙක්. මේ ගීතය දුටු විගස මගේ නෙතට කඳුළු නැඟුණා.
මා සංගීත ප‍්‍රසංගයකට පිටරට ගොස් සිටි මොහොතක මගේ පියාගේ ජීවිතය නැති වුණේ. එහෙත් අප ගොස් තිබුණේ කණ්ඩායමක් වශයෙන් නිසා මගේ පියාගේ අවසන් මොහොත මට දකින්නට ලැබුණෙ නැහැ. මගේ මුළු ආත්මය ම කඩා වැටුණා වගේ වුණා. මා එතෙර සිට පියා වෙනුවෙන් වැළපුණේ අසරණවයි".
"අන්දරයායේ වැව් තාවුල්ලේ සක්මන් කරනා අප්පච්චී" යනුවෙන් ඇසෙනවිට අපට අපේ පියා මැවී පෙනේ. "දොලේ දියයි ඔබ හිතේ නිලයි ගහවැලේ මලයි මට අප්පච්චී" යනුවෙන් රචකයා ප්‍රකාශ කරනුයේ තමාගේ මුළු ජීවිතයම තම පියා බවයි.එසේම තමාගේ වටිනාම වස්තුව තම පියාබව කියයි.එසේම "වළාකුළේ ඩාබිඳු තවරා මහ පොළොවට මහ වැසි ගෙනෙනා" යනුවෙන් රචකයා තම පියා තමා වෙනුවෙන් තම ජීවිතය කැපකළ සැටි රචකයා සිහි කරයි.එසේ තම දාඩිය වගුරවමින් පියෙක් වෙහෙසෙනුයේ තම දරුවාට යහපත් ජීවිතයක් ගත කිරීමට ඉඩ සලසාලීමටය.ජීවිත ගමනේ හමුවූ අනන්ත අප්‍රමාණ වූ බාධකයන්ගෙන් තමා මුදවාගෙන තම ජීවිත ගමනේ ඉදිරියට එන්නට මාවත සැකසූයේ තම පියා බව කථකයා සිහිපත් කරනුයේ මෙසේය. "ඒ දඬු මං බැඳ සත්කුළු පවු බිඳ සිදාදියට එන මං තැනුවා".මෙහි කථකයා තම පියා සිහිකරනුයේ ජීවිත ගමනේ කදු මුදුනේ සිටය.කදු මුදුනක සිට බලන්නෙකුට පහළ හොඳින් දර්ශනය වන්නා සේම ජීවිතයේ දුරක් ගිය කල්හිය ජීවිතය වැටහෙන්නේ.කථකයාට තම පියා පිළිබද මතකය ‍හොදින්ම දැනෙන්නේ එම මොහොතේය.කථකයාට පමණක් නොව අපටද එසේමය.රචකයාගේ පරිකල්පන හැකියාව අපූර්වය.පියා ගැන සිහිපත් කරන එම මොහොතේ කඳුළැලි එනුයේ අපටත් නොදැනීමය.
මෙම ගීතයට තම මධුර මනෝහර හඩින් ජීවය කවනුයේ ප්‍රවීණ ගායක කරුණාරත්න දිවුල්ගනේ මහතාය.ඕනෑම ගීතයක් සාර්ථක වීමට නම් සංගීතය,පද රචනය හා ගායනය නම් වූ අංග ත්‍රිත්වයෙන්ම මනා දායකත්වයක් තිබිය යුතුය.එයින් එක් අංගයක හෝ දායකත්වය බිද වැටුන හොත් එය ගීතයේ අසාර්ථකත්වයට හේතුවිය හැක.එසේ බලන කළ මෙම ගීතය අදාළ අංග ත්‍රිත්වයෙන් මනාව සැදුම්ලත් විශිෂ්ට ගීතයක් බව කිවයුතුය.එසේම මේ ගීතය රස නොවිදින ලද අයෙක් සිටීනම් මෙය රසවිදින මෙන් ඉල්ලා සිටිමි.එවිට ඔබට ඔබේ පියා ගැනත් හොඳින්ම දැනේවි.
අන්දරයායේ වැව් තාවුල්ලේ
සක්මන් කරනා අප්පච්චී
දොලේ දියයි ඔබ කෙතේ නිලයි
ගහවැලේ මලයි මට අප්පච්චී
වළාකුළේ ඩාබිඳු තවරා
මහ පොළොවට මහ වැසි ගෙනෙනා
ඒ දඬු මං බැඳ සත්කුළු පවු බිඳ
සිදාදියට එන මං තැනුවා
තුරුහිස් මුදුනේ මල් පළඳ්‍ර
කැකුළු මුවට පල වැල නෙලුවා
දිවි ගමනේ ඉම කඳු මුදුනේ හිද
පිතු සෙනෙහේ කඳුළැලි සැලුවා

1 comment: