Saturday, December 12, 2015

ආදර මල් වල... පාට කියන්නද..?





















ආදර මල් වල... පාට කියන්නද..
ඒ වගෙ ලස්සන.. තව නෑ//
මීදුම් පිනි පොද... දෑස වසන් කර..
සමනල් සිහිනය... පිපුනා...//

දේදුනු රැ..ක... දෑසම තවරා.....
තවමත් මල් සිත.... බලා සිටිනවා....
මීදුම් තවරා සුළඟට... ඈතක සඟවා තුන් සිත..
දෑස හොරෙන් ඈත.... සොයනවා...
අඳුර මැදින් එන්න සඳලියේ....

දේදුනු සායම.. දෑසින් බොඳකර...
මාලති යායක.... හැලිලා...
සීතල හිම කඳු... යායක පිය මැන..
දෙව්ලිය සිහිනෙට වැඩියා...//



ප්‍රේමය යනු කිසිදා කියවා තේරුම් ගත නොහැකි කවියකට සම කළ හැකිය.මොලොව ජීවත් වන්නන්ගෙන් බොහොමයක්ම කෙදිනක හෝ,කිසියම් අයෙකුට ප්‍රේම කර තිබෙනවා වන්නට විය හැකිය.එහෙත් ප්‍රේමයේ වර්ණය නම් මෙය යැයි,කාට නම් කිව හැකිද?එනමුත් මෙම ගීතයේ එන කථකයා නම් ආදරයේ පැහැය හදවතින් විඳ ගත් අයෙකි.ඔහු එකී පහැය කියා දෙන්නදැයි කියා අසයි.ඔහු ප්‍රේමයෙන් සංතෘප්තියට පත්වී ,ප්‍රේමයෙන් මන් මත්වී ඔද වැටී සිටී.ඔහු එයට පරිබාහිර කිසිවක් සොදුරු ලෙසින්  මේ මිහිපිටෙන් නොදකී!සැබවින්ම ප්‍රේමවන්තයන් ප්‍රේමය වඩා තවත් සොඳුරු දෙයක් කොයින්ද?මෙහි කතකයා හඳ තුළ අැයට කරන ප්‍රේමයේ ආරාධානව ප්‍රකාශ කරමින් සොඳුරු සිහිනයක් විකසිත වී ඇත.එකී සිහිනය සමනල් සිහිනයක් බැව් කීමෙන් එකී සිහිනයේ සොඳුරු බව ධ්වනිත කරවයි.


ආදර මල් වල... පාට කියන්නද..
ඒ වගෙ ලස්සන.. තව නෑ//
මීදුම් පිනි පොද... දෑස වසන් කර..
සමනල් සිහිනය... පිපුනා...//

අප කවුරුත් දන්නා පරිදි නම් දේදුන්නක් රාත්‍රි කාලයේ අහසේ දිස්වන්නේ නැත.නමුත් මෙකී රැය දේදුනු රැයක් බැව් කීමෙන් ඔහු ධ්වනිත කරනුයේ රාත්‍රිෙය් තිබෙන්නා වූ සොඳුරු බව හා වර්ණවත් බව නොවන්නේද?ඔහුගේ විකසිත සිත නොඉවසිල්ලෙන් බලාසිටින්නේ තම සිහින කුමරිය සිහිනයට වඩිනා තෙක්ය.ඔහුගේ දෑස සොරෙන් ඇය එන මාවත දෙස බලමින් සිටිනුයේ කුමක් නිසාද?ඇතැම් විට ඔවුන්ගේ ප්‍රේමයට අකුල් හෙලන්නයට ඕනෑ තරම් ඇය ඔවන් දෙස බලා සියටිනවා විය හැකිය!ඇයට අඳුරු මැඳින් එන්නට යැයි ඔහු ඇයට කියනුයේ එකී සතුරන්ට ඇය ඔහු කරා එන බව ඇස ගැටේවි යැයි යන බිය සිත පුරා රැව් පිළිරැව් දෙන නිසා විය යුතුය.ඔහු ඇයට අමතනුයේ සඳලිය ලෙසිනි.එමඟින් ඇය සඳු සොඳුරු බව මෙස්ම සෞම්‍ය බවද සංකේතවත් වේ.

දේදුනු රැ..ක... දෑසම තවරා.....
තවමත් මල් සිත.... බලා සිටිනවා....
මීදුම් තවරා සුළඟට... ඈතක සඟවා තුන් සිත..
දෑස හොරෙන් ඈත.... සොයනවා...
අඳුර මැදින් එන්න සඳලියේ....

පායා නැඟී තිබූ දේදුන්නේ සායම බොඳකරමින් මාලතී යායේ සැලී ඇත.මාලතී මල් යනු ඉද්ද මල් වලට කියන තවත් නමකි.ඔහුගේ සිහිනය පිහිටා ඇත්තේ සීතල හිම කඳු යායකය!එහි සිහිලස අපට ද දැනෙන්නට පටන් ගනී.ගේය පද රචකයා මෙකී සියළු සොඳුරු පාරසිරික වටපටාව අප වටා මවා පෙන්වයි.එය මෙහි රචකයාගේ ප්‍රතිභාව ඉස්මතු කරන්නකි.කෙසේ නමුත් මෙහි කථකයාගේ ඒකායන ප්‍රාර්ථනය ඉටු වී ඇත්තේ පැතූ සිහිනයට තම දෙවඟන සම්ප්‍රාප්ත වී ඇත.ඇය දෙවඟනකට සම කිරීමෙන් ඔහු තුළ ඈ කෙරෙහි පැවතියා වූ ගෞරව්‍යය මෙන්ම ඈ සතු රූඋපශ්‍රීය ගම්‍යමාන නොවන්නේද?ඇතැම් විට දෙව් අඟනනන් රූපශ්‍රීෙයන් යුතු බැව් යන මතය නිසාද ඔහු තම සිහින කුමරියට දෙව්ඟන ලෙසින් ආමන්ත්‍රණය කරනවා විය හැකිය.

දේදුනු රැ..ක... දෑසම තවරා.....
තවමත් මල් සිත.... බලා සිටිනවා....
මීදුම් තවරා සුළඟට... ඈතක සඟවා තුන් සිත..
දෑස හොරෙන් ඈත.... සොයනවා...
අඳුර මැදින් එන්න සඳලියේ....

කෙසේ නමුත් මෙම ගීතය ලිළිබඳව ඇතැමුන් අන්තර්ජාලය තුළ පළ කර ඇති ලිපි දෙස බැලීමෙන් යන්නේ ඔවුන් මෙම ගීතයට  බලවත් අසාධාරණයක් කර ඇති බවයි!එනම් ඇතමුන් මෙම ගීතය සංලිංගිකයන් දෙදෙනකුගේ ගීතයක් ලෙසින් හඳුන්වාදීමට උත්සාහ කර ඇත.එය මෙවන් සොඳුරු ගීතයකට කරන ලද බලවත් අසාධාරණයකි.ගීතයක්ට අරුත් සැපයීමේදී එම ගීතයේ අරුථ මුළුමනින්ම විකෘති කොට ඉන් අයථා පණිවිඩයක් සමාජයට මුදාහරී නම් එය එම ගීතයේ නිර්මාණකරුවන්ට කරන්නා වූ බලවත් අසාධාරණයක් නොවන්නේද?නමුත් අද සමාජය සත්‍ය්‍ය ලෙසින් පිළිගනු ලබන්නේ යමකිසි බහුතරයක් සත්‍යය  ලෙසින් පිළිගන්නා වූ මතය විනා සත්‍ය්‍ය නොවේ.සැබවින්ම එකී මතය සත්‍යය දැයි සොයාබැලීමට අවශ්‍යතාවයක් නැතිය. එය නම් සැබවින්ම කණගාටුවට කරුණකි.මෙම ගීතය සේම ගහක මල් පිපිලා!රුවක් ඇදෙනවා  වැනි ගීතයන්ටද මෙවැනි සමලිංගික ලේබලයන් අලවා ඇති ගීතයන් වේ.එසේම අසභ්‍ය ගීතයන් ලෙසින් ඇතමුන් අතේ දූෂිත වූ ගීත ලෙස සිරි යහනේ ළණු ඉහිරී,කුමරියක පා සළඹ සැළුණා වැනි ගීතයන්හි එවැනි මතයන් ණ්ඩනය කොට මා විසින් මීට පෙරඑම ගීතයන් සඳහා ලිපි පළ කළ බැව් ඔබට මතක ඇත.එකී කාර්යයඉදිරියටම කරගෙන යාමේ තවත් පියවරක් ලෙසින් මෙම ගීතයට මා විසින් සැපයූ අර්ථ දැක්වීම හඳුන්වා දීමට කැමතිය.
       සාම්මානීය ගේය පද රචකයකු වන වස්ත කුමාර කොබවකයන්ගේ ප්‍රතිභාපූර්ණ ගේය පද රචකයාගේ  මහැඟි ගේය පද රචනයෙන්ද හැඬවූ මෙම ගීතයේ ස්වර රචනය නවරත්න බණ්ඩාරයන්ගෙනි.මෙම ගීතය සුමුදුර හඬින් ගයනුයේ කසුන් කල්හාර සමඟින් ඉන්ද්‍රචාපා ලියනගේ විසිනි.ප්‍රේමයේ සොඳුරු බව අප සිත් සතන්හි නැනත නැවතත් ජනිත කරන ගීතයක් ලෙසින මෙම ගීතය අගය කළ හැකිය.




Friday, October 30, 2015

නින්ද නැති රැයේ



               

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී  ‍රෝස පෙති කඩා හැලේ

කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ




පෙම්වතුන් එක්වීමෙන් සොම්නසක් හටගන්නා සේම පෙම්වතුන්ගේ වෙන්වීමෙන් එහි විසංවාදය වන දොම්නස ඇතිවේ.එසේ එක්වන්නට නොලැබී වියෑකී යන ප්‍රේමය ඔවුන්ගේ ප්‍රථම ප්‍රෙමය නම් හටගන්නා වියෝ දුක කොතරම්ද?මෙම ගීතයේ පුරාවටම දැකගත හැක්කේ විප්‍රලම්භ ශෘංගාරයයි.විප්‍රලම්භ ශෘංගාරය යනු පෙම්වතුන් වෙන්වීම හේතුවෙන් ඔවුන්ගේ හද තුළ හටගන්නා වියෝ දුකයි.
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී  ‍රෝස පෙති කඩා හැලේ

පරාජිත පෙම්වතාට සේම පෙම්වතියටද නින්දක් නොමැත.තමා නොලද හෙයින් තම පෙම්වතිය වැළහින්නියක මෙන් වැළපෙන බැව් ඔහු ඉවෙන් මෙන් දනී.අනෙක් අතට සෑබෑවටම පෙම්කරන්නන්ට තම පෙම්වතාට හෝ පෙම්වතියට දුකක් පැමිණි කල්හි ඒ බැව් ඉවෙන් මෙන් දැනගනී.ඒ වනාහි ප්‍රේමයේ මහිමයයි.ජීවතය පුරාවටම අප විසින් ප්‍රථම වරට කරන දෑ මතකයේ රැඳී තිබේ.කොතරම් දෑ අළුතින් සිතෙහි තැන්පත් වුවද එකී සුවිශේෂී මතකයන් පහසුවෙන් මැකී නොයයි.එසේ වන කල්හි ප්‍රථම ප්‍රේමය කෙසේ නම් සිතෙන් වියැකී යන්නේද?ඇය හඩන්නේ සැඟවීය.මන්ද ඈ අන්සතු වී ඇති හෙයිනි.ඇයට එළිපිට හඩා වැළපෙන්නට ඇයට දැන් වරම් නොමැත.ඇගේ දෙනෙතින් කඩාහැළෙන  කදුළු මීදුමකින් වසාගත්තාක් මෙන් ඇගේ දෑස වසාගෙන ඇත.තාරකා දිය යනු ඇගේ දෙනෙතින් ගලන කදුළුය.එකී කදුළු ඇගේ නිල් පැති දෑසේ තිබෙන්නා වූ කාන්තිය සඟවා දමයි.මේ තුළින් ඇගේ අධ්‍යාත්මය තුළ රජයන හෝකය කොතරම් දැයි ධ්වනිත නොවන්නේද?
කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...

තනිවූ පෙම්වතා සිටිනුයේ හුදාකලාවෙනි.ඔහු සමඟ වෙනදා මෙන් ඈ නැති හෙයින් ඔහුගේ ගත සිත සීතලෙන් වෙළාගනී.ඔහුට ඇග් ඔණුසුම වෙනදා මෙන් අවැසිය.එහෙත් ඔහුට ඊට වරම් නැත.ඹහු දෙනෙත් පියාගෙන සිහිනෙන් ඇගේ උණුසුම විඳගනී.නමුත් ජීවිතය යනු එසේ සිහිනයක් නොවන බැව් ඔහුට සිහිවේ.මන්ද  පසුදින උදෑසනින් ඔහු කළ යුතු දෑ බොහෝය!සිහින දැක දැක සිටින්නට ද ඔහුට ඉඩක් නැත.සැබවින්ම පෙම්තුන් හා පෙම්වතියන සිටිනුයේ හුදකලා වූ සිහින ලොකයන්හිය.නමුත් එකී සිහින වලින් එළියට අවුදින් මඳක් එඹිකම් කරන කල්හි ජීවිතයේ යථාර්ථය යනු සිහින දැකීමක් නොවන බැව් වටහා ගනී
.
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ
මනෝ ලොකයේ සැරි සැරුවද රැය ගෙවී යන බැව් ඔහුට දැනේ.සඳ නිවී යෑම යනු සඳ කෙමෙන් කෙමෙන් බැස යෑමයි.ඔහුට ජීවිතයේ තවත් බොහෝ දුර යා යුතුව ඇත.ඔහු ඊට ඇගෙන් අවසර පතවි.මන්ද තවමත් ඇය ඔහුගේ සිතේ සිටින එකම සොඳුරියයි.මලක් නොමැති ගස යනු විකසිත නොවූ ඔවුන්ගේ ප්‍රේමයයි.පුෂ්ප හට නොගන්නා ගසකින් ප්‍රෙයා්ජනයක් නැත්තා සේම,විකසිත නොවූ ප්‍රේමයෙන් කුමන සතුටක් ඇතිවේද?ඔහුට විඳ ගැනීමට ඇත්තේ ගසේ කටු හෙවත් බිඳීගිය ප්‍රේමයේ දුක්බර මතකයන් පමණි.නමුත් ඔහු තම දෙතොලින් එය විඳගනුයේ අහිමි වී ගියද එම ප්‍රේමයට තවමත් ඹහු පෙම්කරන බැවිනි.

විශාරද ගුණදාස කපුගේ ශරීන්ගේ ගායනයෙන් මෙන්ම නාද රටාවෙන්ද හැඬවූ මෙම ගීතයේ මනරම් ගේය පද රචනය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පන්හිදෙනි.එසේම මෙම ගීතය දෙවරක් පටිගත කළ කරන ලද බැව් දයානන්ද රත්නායක මහතාගේ ලිපියක සටහන් වී තිබෙනු මා දුටුවෙමි.ඒ පිළිවෙළින් 1976 වර්ෂයේ හා 1985 වර්ෂයේය.මුල් පටිගත කිරීම එතරම් සාර්තක නොවූ තැන නැවත නව තනුවක් යොදා කපුගේ විසින් නැවත ගායනා කර ඇති අතර එය අතිශයින්ම ජනප්‍රිය විය.


ගීතයට මෙතනින් සවන් දෙන්න