Friday, October 30, 2015

නින්ද නැති රැයේ



               

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී  ‍රෝස පෙති කඩා හැලේ

කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ




පෙම්වතුන් එක්වීමෙන් සොම්නසක් හටගන්නා සේම පෙම්වතුන්ගේ වෙන්වීමෙන් එහි විසංවාදය වන දොම්නස ඇතිවේ.එසේ එක්වන්නට නොලැබී වියෑකී යන ප්‍රේමය ඔවුන්ගේ ප්‍රථම ප්‍රෙමය නම් හටගන්නා වියෝ දුක කොතරම්ද?මෙම ගීතයේ පුරාවටම දැකගත හැක්කේ විප්‍රලම්භ ශෘංගාරයයි.විප්‍රලම්භ ශෘංගාරය යනු පෙම්වතුන් වෙන්වීම හේතුවෙන් ඔවුන්ගේ හද තුළ හටගන්නා වියෝ දුකයි.
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී  ‍රෝස පෙති කඩා හැලේ

පරාජිත පෙම්වතාට සේම පෙම්වතියටද නින්දක් නොමැත.තමා නොලද හෙයින් තම පෙම්වතිය වැළහින්නියක මෙන් වැළපෙන බැව් ඔහු ඉවෙන් මෙන් දනී.අනෙක් අතට සෑබෑවටම පෙම්කරන්නන්ට තම පෙම්වතාට හෝ පෙම්වතියට දුකක් පැමිණි කල්හි ඒ බැව් ඉවෙන් මෙන් දැනගනී.ඒ වනාහි ප්‍රේමයේ මහිමයයි.ජීවතය පුරාවටම අප විසින් ප්‍රථම වරට කරන දෑ මතකයේ රැඳී තිබේ.කොතරම් දෑ අළුතින් සිතෙහි තැන්පත් වුවද එකී සුවිශේෂී මතකයන් පහසුවෙන් මැකී නොයයි.එසේ වන කල්හි ප්‍රථම ප්‍රේමය කෙසේ නම් සිතෙන් වියැකී යන්නේද?ඇය හඩන්නේ සැඟවීය.මන්ද ඈ අන්සතු වී ඇති හෙයිනි.ඇයට එළිපිට හඩා වැළපෙන්නට ඇයට දැන් වරම් නොමැත.ඇගේ දෙනෙතින් කඩාහැළෙන  කදුළු මීදුමකින් වසාගත්තාක් මෙන් ඇගේ දෑස වසාගෙන ඇත.තාරකා දිය යනු ඇගේ දෙනෙතින් ගලන කදුළුය.එකී කදුළු ඇගේ නිල් පැති දෑසේ තිබෙන්නා වූ කාන්තිය සඟවා දමයි.මේ තුළින් ඇගේ අධ්‍යාත්මය තුළ රජයන හෝකය කොතරම් දැයි ධ්වනිත නොවන්නේද?
කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...

තනිවූ පෙම්වතා සිටිනුයේ හුදාකලාවෙනි.ඔහු සමඟ වෙනදා මෙන් ඈ නැති හෙයින් ඔහුගේ ගත සිත සීතලෙන් වෙළාගනී.ඔහුට ඇග් ඔණුසුම වෙනදා මෙන් අවැසිය.එහෙත් ඔහුට ඊට වරම් නැත.ඹහු දෙනෙත් පියාගෙන සිහිනෙන් ඇගේ උණුසුම විඳගනී.නමුත් ජීවිතය යනු එසේ සිහිනයක් නොවන බැව් ඔහුට සිහිවේ.මන්ද  පසුදින උදෑසනින් ඔහු කළ යුතු දෑ බොහෝය!සිහින දැක දැක සිටින්නට ද ඔහුට ඉඩක් නැත.සැබවින්ම පෙම්තුන් හා පෙම්වතියන සිටිනුයේ හුදකලා වූ සිහින ලොකයන්හිය.නමුත් එකී සිහින වලින් එළියට අවුදින් මඳක් එඹිකම් කරන කල්හි ජීවිතයේ යථාර්ථය යනු සිහින දැකීමක් නොවන බැව් වටහා ගනී
.
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ
මනෝ ලොකයේ සැරි සැරුවද රැය ගෙවී යන බැව් ඔහුට දැනේ.සඳ නිවී යෑම යනු සඳ කෙමෙන් කෙමෙන් බැස යෑමයි.ඔහුට ජීවිතයේ තවත් බොහෝ දුර යා යුතුව ඇත.ඔහු ඊට ඇගෙන් අවසර පතවි.මන්ද තවමත් ඇය ඔහුගේ සිතේ සිටින එකම සොඳුරියයි.මලක් නොමැති ගස යනු විකසිත නොවූ ඔවුන්ගේ ප්‍රේමයයි.පුෂ්ප හට නොගන්නා ගසකින් ප්‍රෙයා්ජනයක් නැත්තා සේම,විකසිත නොවූ ප්‍රේමයෙන් කුමන සතුටක් ඇතිවේද?ඔහුට විඳ ගැනීමට ඇත්තේ ගසේ කටු හෙවත් බිඳීගිය ප්‍රේමයේ දුක්බර මතකයන් පමණි.නමුත් ඔහු තම දෙතොලින් එය විඳගනුයේ අහිමි වී ගියද එම ප්‍රේමයට තවමත් ඹහු පෙම්කරන බැවිනි.

විශාරද ගුණදාස කපුගේ ශරීන්ගේ ගායනයෙන් මෙන්ම නාද රටාවෙන්ද හැඬවූ මෙම ගීතයේ මනරම් ගේය පද රචනය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පන්හිදෙනි.එසේම මෙම ගීතය දෙවරක් පටිගත කළ කරන ලද බැව් දයානන්ද රත්නායක මහතාගේ ලිපියක සටහන් වී තිබෙනු මා දුටුවෙමි.ඒ පිළිවෙළින් 1976 වර්ෂයේ හා 1985 වර්ෂයේය.මුල් පටිගත කිරීම එතරම් සාර්තක නොවූ තැන නැවත නව තනුවක් යොදා කපුගේ විසින් නැවත ගායනා කර ඇති අතර එය අතිශයින්ම ජනප්‍රිය විය.


ගීතයට මෙතනින් සවන් දෙන්න 

Thursday, October 29, 2015

හන්තානෙට පායන හඳ ලස්සනයි ද?






හන්තානෙට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න

ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න

හන්තාන අඩවියෙහි පිහිටි පේරාදෙණිය සරසවිය තරම් සිංහල ගීතයන්ට පසුබිම් වූ වෙනත් සරසවියක් ඇද්දැයි සැක සහිතය.ඊට හේතුව වන්නට ඇත්තේ එය අතිශය රමණීය වූ පරිසරයක පිහිටා තිබීම හා එය නිර්මාණකරුවන්ට නිතැතින්ම වස්තු බීජය සපයා දීම විය හැකිය. හන්තාන හ නොහොත්පේරාදෙණි සරසවිය පසුබිම් කොටගෙන ලියැවුණු ගීත බොහොමයක් අප අතර ඇත.එවැනි අගනා ගීතයකි මෙය.


හන්තානෙට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න

තම පෙම්වතා හෝ පෙම්වතිය සරසවි වරම් ලබා එම අධ්‍යාපනයට ඇතුල් වූ කල්හි බොහොවිට ඔවුන් අතර ඇති ප්‍රේමය බිඳීයයි.එහිදී ඒ සඳහා බොහෝවිට ඉක්මන් වන්නේ සරසවියට ඇතුලු වූ තැනැත්තා හෝ තැනැත්තියයි.නමුත් මෙම ප්‍රේමය එලෙසින් බිඳීගිය පෙමක් නොව ප්‍රේම පරිත්‍යාගයකි.කථකයාට සරසවි වරම් ලබාගත නොහැකි වුවද ඇගේ පෙමවතිය සරසවි වරම් හිමිව ඇත.ඈ පය තබනා හන්තානට ඔහුට පා තබන්නට වරම් නැත.ඈ දකිනා ලෝකය දැකගන්නට ඔහුට වරම් නැත.ඇගේ ලෝකයට ඔහු එන්නට දකැමති නැත.ඒ ඔහු පැමිණියහොත් ඇගේ ලෝකය අඳුරු වී යයි ඔහුට සිනෙක බැවිනි.එහෙයින් ඔහු ඇගෙන් ඈත්වේ.ඒ වනාහි ප්‍රේම පරිත්‍යාගයක් නොවන්‍නෙහිද?සරසවියට ගොස් තමා අමතක කරදැමූ පෙම්වතිය කපා කොටා දමමින් ඇගන් පිළිගන්නා පෙම්වකුන් අතරේ ඔහු සැබවින්ම ශේෂ්ට ආදරවන්තයෙක් නොවන්නෙහිද?


අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න
සරසවි බිම තෙමා  දමමින් වැසි ඇඳහැලෙනු ඇත.එවිට ආදරවන්තයින් එකම කුඩය යටට රිංගාගෙන පෙම් බස් දොඩමින් යනු ඇත.නමුත් තමා පතාගෙන සිටියහොත් ඇයට යන්නට වෙන්නේ තනිවමය.එවිට ඈට තනිකමක් දැනෙනු නිසැකය.එහෙයින් තමා අතහැර දමන ලෙසින් ඔහු ඇගෙන් අයදියි කුඩේ යටින් ඔබ යන කළ එපා තනිය දැනෙන්න යන්නෙන් ඔහු ව්‍යංග්‍යාර්ථවත් කරනුයේ ඇගේ තනි නොතියට පෙම්වතකු හොයාගන්නා ලෙසිනි .ඔහු පරිත්‍යාගශ්‍රී පෙම්වතකු නොවන්නෙහිද?

ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න


සරසවිය පුරා ලතා මඬුලු එල්ලෙමින් තිබේ.ඒවා සරසවියට පැමිණෙන තරුණියන් දෙස ඇසගසාගෙනය සිටින්නේ.එකී ලතා මඬුලු ප්‍රේමනීය හැඟුම් අවදිකරයි.එකී ලතා මඬුලු අතවැනුව හොත් අහක නොබලන මෙන් ඔහු ඇයට කියයිතඑකී ලතා මඬුලු ඔහුට අත වනන්නේ කුමකටද?ප්‍රේම ආරාධනාවකට මිස අන් කුමකටද?සරසවි අසලින්ම මහවැලි නදිය ගලාබසී.එම නදියට ඔහු පිළිබඳ මතකය ගුලිකර දමන්නැයි  ඔහු ඇගෙන් අයදියි. මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න යනු අපූරු කවි සිතුවිල්ලකි.තමා පිළිබඳ මතකයන් සියල්ල අතහැර දමන්නයැයි කී අයුරු කදිමය.
මෙම සොඳුරු ගීතයේ ගේය පද රචනයා වනුයේ ධම්මික බණ්ඩාරයන්ය.මෙම ගීතයට සොඳුරු නාදරටාවන් එක්කරනුයේ විශාරද ඩෙනිස්ටර් පෙරේරා නම් සංගීතඥයා විසිනි.මෙහි ගායකයා වනුයේ ඔබ අප කවුරුත් ප්‍ර්‍රිය කරන විශාරද අමරසිරි පීරිස් මහතා විසිනි.