Wednesday, September 30, 2015

බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ තනිය මකා ගන්නයි




 දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි.......

දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වී යන මොහොතක් නෑඟෙයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මම්......

සෙවනැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබේ සෙවනැලි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතු දා....

රෑ කල දිගු වේ නම්
ළා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා......



නන්දා මාලිනිය ගායනා  කරන පහත ගීතයෙන් කියන්නා සේම,

ජීවිතේ කවියක්...
ආදරේ එහි සොඳුරුතම වදනක්...
    
        ජීවිතය කවියක් නම් ආදරය එහි සොඳුරුතම වදනක් වන්නේය.එකී සොඳුරුතම වදනට ආදරවන්තයින්ගේ මුවට හසරුල්ලක් සේම දෙනෙතට කඳුලක්ද එක් කළ හැකිය.මන්ද ප්‍රේමය වූ කලී මිනිසාගේ හඳ පත්ලෙන්ම ගලා එන්නවූ මනරම් සිතුවිල්ලක් වන බැවිනි.මා මේ කතාකරනුයේ පාසල් වියේ පසුවන්නන් අතර හටගන්නා වූ බොලඳ ප්‍රේමය පිළිබඳ නම් නොව අධ්‍යාත්මීය ප්‍රේමය පිළිබඳවයි.එය රාගයෙන් තොර වූද පරම පිවිතුරු ද වන්නකි.එය හුදු ආකර්ෂණයක් නොවන්නේය.මා කලින් කීවාක් මෙන් ආදරය නම් වූ සොඳුරු වදනට ආදරවන්තයිනගේ දෙනතට කඳුලක් එක් කළ හැකිය.ඒ කඳුල ඇතිවනුයේ පෙම්වතුන්ගේ වියෝගයෙන් ඇතිවන්නා වූ ශෝකය හේතුවෙනි.එකී ශෝකයද සාහිත්‍යයේ රසයක් ලෙසින් සැලකේ.එය විප්‍රලම්භ ශෘංගාරය ලෙසින් හඳුන්වයි.මා විසින් රසවින්දනයට ලක් කරනු ලබන ගීතය තුළින් ප්‍රතාශ වනුයේ විප්‍රලම්භ ශෘංගාරයමැයි.වියෝ දුකින් සිටින නොසිටින බොහෝ දෙනාගේ හඳ බැඳි ඉතා රමණීය ගී කාව්‍යයක් ලෙසින් මෙය හැඳින්විය හැකිය.
දම් පාටින් ළා සඳ බැස යනවා
ආකාසේ රන්වන් පාටයි
සමුගෙන යන්න මගෙන් තව මොහොතයි
නොදොඩා ඉන්නේ ඇයි
පෙම්වතුන්ට උචිත අයුරින් පරිසරය සැකසී ඇත.දම් පැහැයෙන් යුතුව ළා සඳ බැස යයි.ආකාසය රන්වන් පැහැයෙන් දිළෙයි.සඳ බැසගෙන යන්නේ කිනම් අවස්ථාවකද?ඒ අළුයම් කාලයයි.තව නොබෝ වේලාවකින් හිරු උදාවනු ඇත.එවිට මොවුන් දෙදෙනාම වෙන් විය යුතුය.එය තව මොහොතකින් උදාවනු ඇත.එහෙත් පෙම්වතා ගොළු වී ඇත්තේය. පෙම්වතිය පෙම්වතාගෙන් අසනුයේ "ඇයි අපි දෙන්නා වෙන්වෙන වෙලාවෙත් ඔයා ගොළුවෙලා ඉන්නෙ?ඔයාට කියන්න දෙයක් නැද්ද?"මෙහි ළා සඳ යන්න ශෘංගාරවත් හැඟීම් දනවන්නකි.ලූෂන් බුලත්සිංහල දිනක් තම පෙම්වතිය සමඟින් සිටින විට සඳ දම් පැහැයෙන් බැස යනු දැක ඇත.එයයි මෙම ගීතය රචනා කිරීමට ඔහු නිමිත්ත වී ඇත්තේ.
දම් පාටින් සඳ මුහුණ පෙනෙනවා
වෙන් වී යන මොහොතක් නෑෙඟයි
දෑසට ළංව තවත් මේ මොහොතේ
ගොළු වී ඉන්නෙමි මම්
පෙම්වතා ඇයගේ පැනයට පිළිතුරු සපයන්නෙ මේ කොටසින්."මම ගොළු වෙලා ඉන්නෙ ඔයාගෙ ඇස් දෙකට හුඟාක් ලං වෙලා ඉන්න නිසා.මට ඔයාළඟට වෙලා ඉන්නකොට මේ අපි දෙන්න වෙන් වෙන්න ඕන වෙලාව කියලවත් දැනෙන්නෙ නෑ ".යනුවෙන් පෙම්වතා පෙමවතියට පිළිතුරු සපයයි.පෙම්වතුන්ගේ දෑසට දෑස මුණගැසුණු කල ඔවුන් මුව ගොළුවන්නේය.එතැන් සිට ඔවුන් යෙදෙනුයේ ලෝචන සංවාදයකය.මොවුන් දෙදෙනාද එසේ ලෝචන සංවාදයකය යෙදෙනුයේ.පෙම්වතාට ඇයගේ මුහුණ දිස්වනුයේ දම්පැහැති සඳක් ලෙසිනි.එය ඇයගේ සුන්දරත්වය හා සෞම්‍යත්වය සංකේතවත් කරයි.
සෙවණැලි නොමැකේ නම්
එළිය කළු නොවේ නම්
බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ
තනිය මකා ගන්නයි
එනතුරු සොයා මගේ සෙනෙහස මතු දා
පෙම්වතාගේ වෙන්වීම ඇයට කිසිලෙසකින් වත් දරාගත නොහැකිය.මන්ද එය හඳ පත්ලෙන් ම නැඟී ප්‍රේමයකි.එමෙන්ම එය ගැඹුරු අධ්‍යාත්මීය ප්‍රේමයකි.ඔහුගේ වෙන්වීමත් සමඟ ඇයට දරාගත නොහැකි තනිකමකි හට ගනුයේ..එකී තනිය මකාගැනීමට බිත්තිය පුරා ඔහුගේ සෙවණැලි සිතුවම් කරයි.ඇය සෙවණැලි නොමැකේවායි!එළිය කළු ‍නොවේවායි! යනුවෙන් පතයි. තනිවූ පෙම්වතුන් තුළ ඇත්තේ එවැනි ප්‍රාර්ථනාවන් මිස අන් කවරක්ද?ඇයගේ ශෝකී මනෝභාවයන් ඉතා සංවේදී ලෙසින් රසික මනසෙහි සිතුවම් කිරීමට මෙහි රචකයා සමර්ථ වී ඇත.අතීතයේ තම පෙම්වතාගේ රුව පෙව්වතිය විසින් අඟුරු කැබැල්ලකින් අඳිනු ලබනවා යැයි අසා තිබුණු ලූෂන් එය බිත්ති පුරා ඔබේ සෙවණැලි ඇන්දේ යනුවෙන් මෙහි යොදා ගෙන ඇත.
රෑ කල දිගු වේ නම්
ළා සඳ නොමැකේ නම්
නෙළුම් පතක රැඳි පිනි බිඳුවක් සේ
ළමැද තලා යහනේ ඉන්නම්
පමා වෙලා හිරු නැගෙන තුරා
රාත්‍රිය දීර්ඝ වේවා යැයිද?ළා සඳ නොමැකේවා!යි ඔහු ද ප්‍රාර්ථනා කරයි.මන්ද එවිටය ඔහුට ඇය සමඟින් තවත් මොහොතක් හෝ රැඳී සිටිය හැක්කේ.නෙළුම් පතක පිනි බිංදුවක් රැඳී තිබෙන්නාක් මෙන් ඇයගේ ළමැදේ  සිටින්නට ඔහු පතයි.පිනි බිංදුව හිරුගේ ආලෝකයේ රශ්මියට ක්ෂය වී යන්නාසේම ඔහුට ද ආලෝකය උදා වූ විගස ඇය හැර දා යා යුතුය!මන්ද මෙය ලෝකයට සොරා ගෙන යන අනියම් පෙමකි.ප්‍රමාද වී හිරු නැගෙන ලෙසින් ඔහු ප්‍රාර්ථනා කරන්නේ තම පෙම්වතියගෙන් වෙන්වීම ඔහුටද දරාගත නොහැකි වේදනාවක් හා තනිකමක් ගෙන දෙන්නක් හෙයිනි. අනියම් පෙම් පළහිලවු ගෙන යන්නන්ට එකී ප්‍රේම සබඳතාවයන් ගෙන යාමට වී ඇත්තේ සමාජයට සොර රහසිනි.මන්ද සමාජයට එකී සබඳතාවයන් හෙළි වුවද මුහුණ දිය නොහැක.එසේම සැමියා හෝ බිරිඳ අතට අසුවූ කල කුමකින් කුමක් සිදුවේදැයි කිව නොහැක.දරුවන් දැනගතහොත් ඔවුන් මුහුණ වත් නොබලනු ඇත.මේ සියල්ලෙන්ම බෙරීමට සිතන අනියම් පෙම්වතුන් හමුවන්නේ හොර රහසෙනි.කෙසේ නමුත් සැමදා ඔවුන්ට සමාජයෙන් වහන් වී සිටිය හැකිද?කෙසේ වෙතත් වෙතත් පෙම්වතුන් වෙන්වීමේ දී ඇතිවන්නා වූ ශෝකය මැනවින් ප්‍රතීයමාන කරන ගීතයක් ලෙසින් මෙම ගීතය අගය කළ හැකිය.
මෙම ගීතය ගායනා කරනු ලබන්නේ විශාරද ගුණදාස කපුගේ සමගින් විශාරද මාලීනී බුලත් සිංහලයන්ය.ස්වර රචනය ඔස්ටින් මුණසිංහගෙනි.මෙහු මෙම ගීතයට ඉතා රමණීය ලෙසින් සංගීතය එක්කොට ඇත.මෙම ගීතය ප්‍රථමයෙන්ම ගායනා කොට ඇත්තේ ද ඔහු විසිනි.ඔහුගේ සහය ගායිකාව වී ඇත්තේ අනූලා බුලත්සිංහලයි.එම ගීතය පටිගත කරන දිනයේ ශබ්ද පරිපාලකයා ලෙසින් සිට ඇති කපුගේ ඔහුගෙන් මෙම ගීතය ගායනා කරන්නට අවසර පතා ඇත.ඉන් පසුවය කපුගේ මෙම ගීතය මාලනී බුලත්සිංහලයන් සමඟ ගයා ඇත්තේ.මෙහි ගේය පද රචනය ලූෂන් බුලත්සිංහලගෙනි.ඔහුගේ විශිෂ්ට පද රචනාවට ඔස්ටින් මුණසිංහයන් ඉතා රමණීය ලෙසින් සංගීතයත්, ගුණදාස කපුගේ හා මාලනී බුලත්සිංහලගේ හඬත් මැනවින් සංයෝජනය වී ඇත.ගීතය යනු සංගීතය,ගායනය හා පද රචනය යන ත්‍රිලක්ෂණයේ අපූර්ව එකතුවක් බැව් මෙම ගීතයෙන් ප්‍රතීයමාන නොවන්නෙහිද?එසේම සුභාවිත ගීතයේ අපූර්ව ඵලයක් නොවන්නෙහිද?

ගීතයට පහතින් සවන්දෙන්න.


 


Sunday, September 27, 2015

ආසයි මම නොකී කවිය ඔබට කියන්න






මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න

ප්‍රේමය නමැති ආත්මීය බැදිම කිසිදා වියපත් නොවන්නකි.මන්ද එය සිත තුළින් උපත ලබන්නක් බැවිනි.ගත දිනෙන් දින වියපත් වුවද සිත එලෙසින් වියපත් නොවේ.එහෙයින්ම ගතෙන් වියපත් වූ පුද්ගලයෙක් තුළ වුවද ප්‍රේමය හටගත හැක.එසේ ගතෙන් වියපත් වූ පුද්ගලයෙක් තුළ හටගන්නා ප්‍රේමනීය හැගීමක් මෙම ගීතය තුළින් නීරූපිතය.
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා

ඔහු පෙම් බඳිනුයේ රොස මලකටය.එනම් වයසින් නොමේරූ පාබාළ තරුණියකටය.පුංචි රෝස මල යන්නෙන් ඇයගේ ළබාළ බව මොලොක් බව,නිර්මලත්වය සංකේතවත් වේ.නමුත් මොහු කවරෙක්ද?මොහු වියපත් බබරෙකි.ගැටළුව ඇත්තේ එතනය.ඔහු වයසින් මේරූ අයෙකි.සැබවින්ම ගැටළුව ඇත්තේ ඔහුට නොව සමාජයටය.ඔහු වියපත් වුවද ඔහුට ඔහු බබරෙකි.නමුත් සමාජයට අනුව වියපත් පුද්ගලයෙක් පමණි.කෙසේ නමුත් ඈ ලිඵිබඳ ඔහු තුළ ඇති වී ඇත්තේ ප්‍රේම සිතුවිල්ලක් පමණි.ඔහුගේ සිතුවිල්ල දන්නෙද ඔහු පමණකි.මේ කිසිවක් තරුණිය නොදනී.තමාව ඇය සිහිනෙන් වත් නොදකින බැව් ඔහු හොඳින්ම දනී.කොටින්ම කියතොත් මේ හාන් කවිසියක්වත් ඈ නොදනී.ඇතැම් විට ඈට පෙම්වතකු සිටිනවාද විය හැකිය.

කළුවර රෑ සඳක් වගේ
ඇවිදින් ඔබ ඉන්නවනම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නෑ ඔබ බැස යන්න
රාත්‍රිය වෙළාගන්නා ඝන කළුවර බිඳිය හැක්කේ සඳට පමණකි.මොහුගේ දිවියද ප්‍රේමයක් නොමැතිව ඇත්තේ අඳුරෙහිය.ආලොකයක් හෝ සැනසමත් එහි නැත.එහි ඇත්තේ හාත්පස වෙලාගත් ශෝකය පමණකි.එකී අඩුව දුරලිය හැක්කේ ඇයට පමණකි.එහෙයිනි ඈට කරනා මේ සොඳුරු ප්‍රේම ආරාධනාව.ඇය තම සමීපයට එන්නේ නම් මෙතෙක් නොකී කවිය ,එනම් ප්‍රකාශ නොකළ එහෙත් ඔහුගේ සිතෙහි ලියලා වැඩෙන ප්‍රේමය ඇයට කීමට ඔහු සැදී පැහැදී සිටී.ආදරය යනු ලියා අවසන් කළ නොහැකි සොඳුරතම කවියක් නොවෙද?ඔහු තම සිතේ ඈ පිළිබඳ එටගත්තා වූ ප්‍රේමය කියන්නට මඟබලා සිටින්නේ මහත් ආශාවෙනි.නෙසෙ නමුත් තමන්ගේ ප්‍රේමය ඈ ප්‍රතික්ශේප කරද තමා ඇයට වෛර නෙකරන බැව් ඔහු කියන්නේ දැඩි උපේක්ෂාසහගක සිතකිනි.ඒ වනාහි ඔහු තුළ පැවතියා වූ උත්තරීතර ප්‍රේමය නොවන්නෙහිද?

මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනව නම්
ආසයි මම කවුළු පියන් හැරල තියන්න
තරහක් නෑ නෑවිත් ඉන්න
.තමාගේ එහවත නමැති පුංචි නවාතැනේ ඔහු ඇයටත් ඉඩක් වෙන්කොට ඈ එනතුරු බලා සිටියි.ඈ කොයි මොහොතක හෝ එහි ඇවිදින් සැරසරාවි යන අපේක්ෂාවෙන් සිටින ඔහු තම හඳෙහි කවුළු පියන්පත් විවර කොටගෙන ඈ එනතුරු බලා සිටියි.ඈ නෑවිත් සිටියද ඈ සමඟින් කිසිදා තරහ වන්නට තරම් ඔහු සතුව දැඩි සිතක් නැත.ප්‍රේමය ඉදිරියේ ඔහුද ළමාම පුද්ගලයෙකි.ඇතැම් අයට මෙය "නාකි විසේ" යැයි සිතෙන්නට ද පුළුවන.නමුත් මා නම් සිතන්නේ මේ ඔහුගේ අහිංසක ප්‍රේමයක් කියායි.මන්ද එවැනි සිතුවිල්ලක් ඕනෑම අයෙකුගේ සිතේ ඇතිවිය හැක.ප්‍රශ්නයකට ඇත්තේ එය කොතරම් දුරට සමාජයට උචිත වේද යන්නයි.
මේ ගීතයට පාදක වූවා යැයි කියන සිදුවීමක් ද පුවත්පතක පළවී තිබුණි.ලංකාවේ සිටි සුප්‍රකට ගායකයෙක්(ඔහුද වියපත් වූ අයෙකි)තමන්ගේ බිරිදගේ වියෝවෙන් ‍ශෝකයෙන් සිටියේය.මේ අතරතුර ඔහුගෙන් සංගීතය ඉගෙන ගැනීමට ආ තරුණියකට සිතින් පෙම් බැද ඇත.එම සිදුවීම මේ ගීතය රචනා කිරීමට හේතු වූ බැව් කියවේ.එය කොතරම් දුරට සත්‍යයක්දැයි මා නොදනී
මෙම මියුරු ගීතයට තම හඩින් ජීවය දෙනු ලබන්නේ විශාරද අමරසිරි පීරිස් මහතායි.මෙහි පදවැල් ධම්මික බණඩාරයන් ගෙනි.මෙයට නාදරටා සපයනුයේ ඩෙනිස්ට පෙරේරා නම් සංගීතඥයා විසිනි.