Sunday, September 27, 2015

ස්වාමිපුරුෂයකුගෙන් බිරිඳකට කෙරෙන උපහාරය




තාත්තා උනත් මා බත සරි කරන
අම්මා නුඹයි මගෙ දරු දැරියන් රකින....//

මට පෙර උරුම ආලය දරු කැළට දෙමින්
රෑ දාවල් දෙකේ වෙහෙසන විටදි නොමින්
ඔබ දුටු මුල් දිනේවත් හද නොනැගි පෙමින්
උතුරයි මසිත තව නුඹ වෙත තුරුළු වෙමින්....

බැතිබර හැගුම් දනවන නුඹගේ සුවද
අතදරු පුතුගේ මුව කමලේ ඇත නිබද
අම්මා කෙනෙකු මිස නුඹ මගෙ බිරිද ලෙස
නොහැගෙයි ළගින් හිද මගෙ හිස සිඹින සද....

කාන්තාව බිරිඳක් ,මවක් ලෙසින් තම කුටුම්භය වෙනුවෙන් කරනා කැපයීම අපමණය.නමුත් එය තේරුම් ගන්නා ස්වාමිපුරුෂයන් අල්පය.එසේ අල්පයක් තරම් වූ පිරිසෙන් තම බිරිඳගේ අගය මනවින් වටහාගත් ස්වාමිපුරුෂයකු තම බිරිඳ වෙනුවෙන් කරන ගුණ ගායනය මෙම ගීතයට තේමා වී ඇත.ඒ නිසාම මෙය සුවිශේෂී ගීතමය අත්දැකීමක් ලෙසින් හඳුනාගත හැකිය.

තාත්තා වුනත් මා බත සරිකරන
අම්මා නුඹයි මගේ දරුදැරියන් රකින. . . //
පවුලට බත සපයන්නේ පියාය.නමුත් එහු රැකියාවට ගිය කල්හි ශවුන්ට අයිති වටිනාම වස්තුව වන දරු දැරියන් රක්ෂා කරන්නේ බිරිඳ විනා අන් කවරෙක්ද?සැබවින්ම ඔහුට බියක් සැකක් නොමැතිව රැකියාට ගොස් ඒමට හැක්කේ ප්‍රිය බිරිඳ සිටිනා හෙයිනි.ඇය මලක් මෙන් දරු දැරියක් රැක ගනී.එහෙයින් තම ල්‍රිය බිරිඳගේ වටිනාකම කථකයා මැනවින්ම වටහාගෙන ඇත.සැබවින්ම පවුල් ජීවිතයක් සාර්ථක වීමට නම් සැමියා හා බිරිඳ අතර අන්‍යොන්‍ය සබැඳියාවක් තිබිය යුතුය.මෙම කථක සැමියා හා ඔහුගේ බිරිඳ අතර එකී සබැඳියාව තිබෙන බැව් පෙනේ.ඒ නිසාම උවුන්ගේ පවුල් ජීවිතයද සාර්ථක වූ බවකි පෙනෙන්නේ.
මට පෙර උරුම ආලය දරුකැලට දෙමින්. ..
රෑදාවල් දෙකේ වෙහෙසෙන විටදි නොමින්. . .
ඔබ දුටු මුල් දිනේ වත් හදනොනැඟි පෙමින්. . .
උතුරයි මසිත තවනුඹ වෙතතුරු ළෙවෙමින්. .
මොවුන් දෙදෙනා විවාහ වන්නට පෙරාතුව ප්‍රේමවන්තයින් සේ කල්ගෙවන්නට ඇත.එදා ඔහුට ඇගෙන් ලද ප්‍රේමයෙන් කොටසක් අද ඔහුගේ දරුවනටද හිමිවේ.නමුුුත් ඒ ගැන ඔහුට දුකක් හෝ ඊර්ෂියාවක් නැත.ඇත්තේ සතුටකි.මන්ද ඇය තම දරුවන්ට ආදරය නරනුයේ තමාට ඇති ආදරය යඩාත් වැඩි හෙයිනි.ඇය තම ස්වාමියාගේ ප්‍රතිමුර්තියක් ලෙසින් දරුවන් දකින හෙයිනි ඈ ඔවුන්ට වඩ වඩාත් පෙම් බඳින්නේ බව ඔහු හොඳාකාරවම දනී.ඔහුටද ඈ ගැන ප්‍රේමය දැන් නෙදාටත් වඩා වැඩිය.ඈ දුටු මුල් දිනයේ වත් ඔහු හඳ තුළ නොනැඟි ප්‍රේමයකින් ඔහුගේ හඳ උතුරා යයි.ඔහු දැන් පෙරටත් වඩා ආදරණීය සැමියෙකි.මෙම කථකයාගේ ප්‍රේමය තුළ රාගයේ සෙවණැළ්ලකුදු නොමැත.සැබෑ මානව ප්‍රේමය නම් මෙයම විය යුතු නොවන්නේද?

බැතිබර හැඟුම් දනවන නුඹගේ සුවඳ. . .
අතදරු පුතුගේ මුවකමලේ ඇත නිබඳ. . .
අම්මා කෙනෙක් මිස නුඹ මගේ බිරිඳ ලෙස. .
නොහැගේ ලඟින් හිද මගේ හිසසිඹින සඳ. .
ඇගේ සුවඳ ඔහුට උපදන්නේ රාගයක් නොව භක්තියකි.ඇගෙන් හමනා සුවඳ දැන් දැන් අතදරු පුතුගෙන් දැනේ.එම අත දරුවා ඔහුට තම බිරිඳගෙන් ලැබුනු දායාදයයි.කථකයාට ප්‍රිය බිරිඳ ළඟින් සිට හිස සිඹිනා කල දැනෙනුයේ බිරිඳක් ලෙසින් නොව මවක් ලෙසිනි.බිරිඳකට එලෙසින් පෙනී සිටීම කිසිසේත්ම පහසු නැත.තම බිරිඳ එලෙසින් හඳුන්වාලීමෙන් කථකයා තම බිරිඳ උත්තම ස්ථනයක තබයි.කාන්තාව කරන අපරිමිත වූ සේවයට ගුටිබැට වලින් හා නොසරුප් බැණුම් වැස්සෙන් සග්‍රහ කරන කෘතගුණ දන්නා ස්වාමිපුරුෂයන් සිටිනා කළ මෙසේ තම බිරිඳගේ අගය වටහාගන්නා කිහිපදෙනෙක් හෝ සිටීම අගනේය.
මහැචුරු සුනිල් ආරියරත්නයන්ගේ ගේය පද රචනාවෙන් ද විශාරද රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනාවෙන්ද අලංකෘත මෙම අගනා ගී මිණ ගායනා කරනු ලබන්නේ හෙළයේ මහා ගාන්ධාරයාණෝ පණ්ඩිත් අමරදේවයන් විසිනි.


No comments:

Post a Comment