Sunday, September 27, 2015

ලෙලි තලන නුඹෙ අතට රන් මුදුව ගොරහැඩිද දෝනි





ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝනි
සෙණසුරුට පෙම් බඳින දෝනී

නෙළූ රන් කෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇට සැකිලි සැතපේ
මනමාල කම් කරණ නිවට දුප්පත් කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ....

ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
තලාපන් දෝනියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ.....
ගීත රචකයින් විවිධ ජීවන වෘත්තියන්හි යෙදෙන එනම් වැඩකරන ජනතාව හා බැඳී පවතින දුක්ඛ දෝමනස්සයන් තම නිර්මාණ සඳහා වස්තු විෂය ලෙසින් තෝරා ගැනීමට පෙළඹෙනු දැකගත හැකිය.

ලෙලි තලන නුඹෙ අතට
රන් මුදුව ගොරහැඩිද දෝනි
සෙණසුරුට පෙම් බඳින දෝනී

රන් මුදුව ගොරහැඩිද දෝනි යන්නෙන් ඇයට උරුම නොවූ විවාහ ජීවිතය සංකේතවත් වේ.සෙනසුරු ග්‍රහයා ලැබූ කළ පුද්ගලයින්ට උරුම වනුයේ කරදර හිරිහැරමය.මැයට ද ලබා ඇත්තේ සෙනසුරු යැයි කීමෙන් ඇයගේ ජීවිතය පුරාවට විහිදී ගිය දුක්ඛිත බව ධ්වනිතවේ.ඇයට සිකුරා ලබන බවක් නම් පෙනෙන්නට ඇත්තේම නැත.ඇයට සිදුවී ඇත්තේ තම දිවිය පුරා අරක්ගෙන සිටින සෙනසුරාට පෙම් බැඳීමට විනා අන් කාට පෙම් බඳින්නද?ඇයට මුහුණ පෑමට සිදුවී ඇති ගොරහැඩි ,කටුක දිවිය පිළිබඳ රසිකයා තුළ සංවේගයක් හටගන්නේ නිතැතිනි.

නෙළූ රන් කෙඳි අතුල යහනේ
ප්‍රේමයේ ඇට සැකිලි සැතපේ
මනමාල කම් කරණ නිවට දුප්පත් කුමරු
බින්න බැහැලා වගෙයි ගෙපැලේ....
ඇය පොල් ලෙලි තලා ගනුයේ පොල් කෙඳි හෙවත් පොල් කොහු වුවද ඇයට නම් ඒවා රන් කෙඳිය.මන්ද යත් ඇය ජීවත් කරනුයේ,කුසගිනි නිවනුයේ ඒ රන් කෙඳි විනා අන් කවරක්ද?ඇය නෙළූ රන් කෙඳි අතුලා සකස්කළ යහනේ සැතපෙන්නේ කවුරුන්ද?ඒ ඇයගේ ප්‍රේමයේ ශේෂ මාත්‍රයන් වන ඇට සැකිලි නොවේද?එමගින් ඇයට අහිමි වී ගිය ඇයගේ ප්‍රේමය සංකේතවත් වේ.ඇය දමා යන්නට ඇත්තේ ඇය පොල්ලෙලි තලන ලියක් වූ නිසා නොවන්නෙහිද?දුප්පතෙක් ලෙසින් බිහි වූ ඇය විඳින දුක් ගැහැට ඈ කෙලෙසක නම් ඉවසන්නද?ඇයගේ නිවසෙහි බින්න බැහැගෙන ඇත්තේ,එනම් නවාතැන් ගෙන ඇත්තේ දුප්පත්කම නමැති කුමාරයාණන්ය.දුප්පත් නම නොවන්නෙහිද පිනිසා නිවට නියාලු බෙලහීනයකු කරනු ලබන්නේ.බින්න බැහැලා යනු ගැමි භාෂාවෙන් උපුටා ගත්තකි.ගෙපැල මගින් ඈ මුහුණ දී ඇති දරිච්‍රතාවය සංකෙතවත්වේ.

ලෙලි දමන පල් වතුර පොකුණේ
රන් පියුම නැතිද තව පිපුණේ
තලාපන් දෝනියේ ඉඟිමරණ කුරිරුකම්
සෙනසුරා හැර දුවයි අපලේ.....
ලෙලි දමන්නේ පල්වතුර වලකි.පල්වතුර වල ඇගේ අවුල් වී ගිය දිවිය ධ්වනිත කරයි.රන්පියුම තවමත් පිපුණේ නැත්දැයි වන්නෙන් දවමත් ඇගේ දිවියට සෙෘභාග්‍යය උදා නොවු බැව් සංකේතවත් වේ.කතකයා ඇයට තලන්නට කියනුයේ පොල්ලෙලි නොව ඇයට ඉඟිමරමින් ඇයව පීඩාවට ලත් කරන තුරිරුකම්වලටය.එවිටවත් සෙනසුරා ඇය අතහැර යාවි යැයි කථකයා සිතයි.සැබවින්ම කවදා නම් ඇගේ දිවියෙන් සෙනසුරා හැර යයිද?නවදා නම් සිකුරා ඇයට ලබයිද?ඇගේ දිවිය වසාගෙන දුප්පත්කම නැවැකි නිවට කුමරා සිටින තාක්කාල් ඇයට එවැනි කලක් උදාවේවිද යන්න ගැටළුවකි.මෙවැනි ලෙලි තලන දෝනිලා අප අතර කොතරම් සිටීද?ඔබ කවුරුන් හෝ එවැනි ලියක ඇසක් ඇර බලා තිබේද?



No comments:

Post a Comment