Saturday, September 19, 2015

දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...






සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්..
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

ගණ දෙවිඳුන් මට දන් දුන් ‍
මගේ නුවණ නුඹ අරගන්..
පතිනි මවුන් මට රැක දුන්
මගේ බලය නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...


ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්..
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...





දෙමාපියන් සතු වටිනාම වස්තුව කුමක්ද?ඒ දරුවන් විනා අන් කවරෙක්ද?තම සතු වටිනාම වස්තුව වන දරුවාට දිය හැකි වටිනාම දායාදය කුමක් විය යතුද?එය ස්හාවදහම් මාතාව විනා අන් කවරක්ද?මෙම දෙමාපියන් දෙදෙනාද තම ලෙයින් මෙළොවට ජාතක වූ දරුවාට දෙන්නේ එම දායාදයයි.මෙය ගීතය මගින් මාපියන් දෙදෙනා ස්භාදහමේ වටිනාකම තම දරුවාට කියාදෙයි.වර්තමාන දෙමාපියන්ගෙන් නම් කීයෙන් කීදෙනෙකු ස්භාදහමෙ වටිනාකම තම දරුවාට වටහා දෙනු ඇත්ද?යතිවරයාණන් කෙනෙකු වුවද රඹුක්කන සිද්ධාර්ථ හිමියෝ ස්භාවදහම් මාතාවගේ වටිනාකම හොඳින්ම වටහා ගෙන ඇති බැව් මෙම ගීය විමර්ශනය කිරීමෙන් මනාව පසක් වේ.

සඳ තරු මල් මට දන් දුන්
මගේ රුසිරු නුඹ අරගන්..
හිරු තෙද වන් මට දන් දුන්
මගේ ඔටුනු නුඹ ලාගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

මව  තම දුවණියට දෙනු ලබන දායාදය කුමක්ද?ඒ වනාහි සොබාදහම් මාතාවගේ අපූරු දායාදයන් වන සඳ,තරු,මල් යනාදියෙන් මවට ලැබුණු රූප සොබාවයි.පියා තම දුවණියට දෙන දායාදය කුමක්ද?තමා හිරුගෙන් ලැබුණු කිරුළ ඔහු තම දියණියට පළඳවයි.තම දුවණියට දෙමාපියන්ට මෙයට වඩා අගනා තවත් යමක් දිය හැකිද?කාශ්‍යප රජු තම පියාගෙන් වස්තුව ඉල්ලූ කළ ධාතුසේන රජු වස්තුව ලෙසින් ඔහුට පෙන්වූයේ කුමක්ද?ඒ කලා වැවයි.සැබවින්ම ස්භාවදහම හැරුණු කළ වෙත් වටිනා දායාදයන් තිබේද?

ගණ දෙවිඳුන් මට දන් දුන් ‍
මගේ නුවණ නුඹ අරගන්..
පතිනි මවුන් මට රැක දුන්
පතිනි බලය නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

ගණ දෙවිඳුන් යනු නුවණට අධිපති දෙවිඳුන්ය.කථක පියාට ගණ දෙවිඳුන් දන් දුන් නුවණ තම ආදරණීය දුවට දන් දෙයි.පතිනි මවුන් කථක මවට රැක දුන් පතිනි බලය ඈ තම දියණියට දන් දෙයි.මව මෙන්ම පියාද තමන් ලද්දා වූ දායාදයන් තම දුවණියට දන්දෙනුයේ කිසිදු පැකිළීමකින් තොරවය.එය වූ කලී මව් පිය සෙනෙහසේ උත්තරීත්වය නොවන්නෙහිද?ස්භාදහමෙන් ඔවුන්ට ලද දායාදය වූ ඔවුන්ගේ ආදරණීය දුවණියට මීටත් වඩා ආදරණීය ත්‍යාගයක් දිය හැකිද?තම දුවණියට දෝනි යනුවෙන් ඇමන්තුණය කිරීමෙන් තම දුවණිය කෙරෙහි ඔවුන් දෙදෙනා සතු වූ අසීමිත සෙනෙහස නිරෑපිතය.


ඇල දොල ගං මට දන් දුන්
හදේ සිසිල නුඹ අරගන්..
මහ වන විල් මට දන් දුන්
හිතේ සුවඳ නුඹ අරගන්..
දායාද එයයි මගෙ දෝනිට - අප දෙන්නාගේ...

පියා ඉන් අනතුරුව තම දියනියට පවරා දෙන්නේ ස්භාදහම් මාතාවගේ වටිනාම දායාදයන් වන ඇළ දොළ ගං යන වස්තූන් වලින් ඔහු ලද්දාවූ හදේ සිසිලසයි.මව තද දුවණියට පවරා දෙනුයේ මහ වන විල් වලින් ලද්දා වූ හිතේ සුවඳයි.හදේ සිසිල හිතේ සුවඳ යනාදියෙන් සංකේතවත් කරනුයේ දයාව,කරුණාව, අනුකම්පාව,ආදරය,ආදී මෙනොභාවයන් හා සෞම්‍ය බව නොවන්නෙහිද?මයකට හා පියෙකුට තම ආදරණීය දුවණියට එයටත් වඩා ආදරණීය යමක් දිය හැකිද?

මෙම විශිෂ්ට ගීතය රඹුක්කන සිද්ධාර්ථ හිමියන්ගේ ප්‍රතිභාපූර්ණ ගේය පද රචනාවෙන්ද ආචර්ය රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනාවෙන්ද,අතුල අධිකාරී- සමිතා මුදුන්කොටුව යුවලගේ මධුර හඬින්ද පෝශිතය.ස්භාවධහමේ අසිරිය ළමුන්ට කියාදුන් යතිවරයාණන් කෙනෙකු වූ මහින්ද හිමි සිහිවනුයේ නිතැතිනි.මහින්ද හිමි සේම සිද්ධිර්ථ හිමි ද එම යුතුකම ඉටුකරලන යතිවරයාණන් කෙනකු ලෙසින් හැඳින්විය හැකිය.සිංහල ගීත සාහිත්‍යය පෝෂණය කරන ලද්දාවූ මනරම් ගී කාව්‍යයක් ලෙසින් මෙම ගීතය හැඳින්වීම වඩාත් නිරවද්‍ය සේ හැඟේ.





No comments:

Post a Comment