Sunday, September 27, 2015

මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා




පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා









ප්‍රේමයේ විරහ වේදනාව රසික හද තුළ සිත්තම් කරවන මෙම ගීතය සුවහසක් රසිකයාගේ සිත දශක ගණනාවන් පුරාවටම ඇඳ බැඳ තබාගැනීමට සමත් වූ ගීතයකැයි කීම යුක්ති යුත්තය.වැඩිහිටි පරපුර පමණක් නොව තරුණ පරපුර ද මහත් සේ ඇළුම් කරන ගීතයත් වශයෙන්  ද මෙම ගීතය හඳුන්වා ලිය හැක.



ප්‍රේමය පෙම්වතුන්ගේ  මුවට හසරුල්ලක් එක් කරලීමට සමර්ථ වනවා සේම පෙම්වතුන්ගේ දෙනත කදුළු කැට වලින් පුරවා ලීමට ද සමත් වන බැව් අප කොයි කවුරුත් හොඳින් දන්නා කරුණකි.මෙම ගීතය තුළින් කියවෙන්නේද තමා පෙම් කළ යුවතිය හිමි නොවූ පෙම්වතකුගේ සිතුවිලි සමුදායක් බව මගේ හැඟීමයි.ඇතැම් විට තවත් අයකු මෙම ගීතය මීට වෙනස් ආකාරයකින් වුවද රසවින්දන කිරීමට ඉඩ ඇත.කෙසේ නමුදු මා විසින් මෙහිලා සටහන් කරනුයේ මේ ගීතයට සවන් දීමෙන් මා හට ඇති වුනා වූ හැඟීමයි.

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා
කථකයාට දිනක් හදිසියේ මෙන් පෙර දිනයක තමා මුළු හදින්ම පෙම්කල යුවතිය හමුවේ.පුදුමයකට මෙන් එදා ඔවුන් ප්‍රේම කරනා සඳ ඔහුගේ හඬින් ගැයූ ගීයක් අද ඇයගේ හඬින් ඔහුට ඇසේ.නමුදු ඒ නැලවිලි ස්වරයෙන් මිස පෙම් ගීයක් ලෙසින් නොව.ඇය එම ගීතය ගයනුයේ තම පුතු සනහාලීමටය.නමුත් එය අසනා කථකයාගේ හඳ සසල වේ.මන්ද ඔවුන්ගේ අතීත ප්‍රේමයේ ශේෂ පත්‍රයන් එහි සැඟව ඇති හෙයිනි.දෛවය පුදුමාකාර නොවන්නෙහිද?මන්ද එදා ඔහුගේ හඬින් ගැයූ ගීත අද ඇගේ හඬින් ඔහුටම අසන්නය සැලැස්වීම පුදුමසහගත නොවන්නෙහිද? .කෙසේ නමුදු අතීත ප්‍රේමයේ මතක සටහන් ඔහු තුළ මෙන්ම ඈ තුළද ඇතුවා නිසැකය.අනෙක් අතට පෙම්වතුන් වෙන්වී ගියද ඔවුන්ගේ හදවත්හි පැවතියා වූ ප්‍රේමය මුළුමනින්ම වියැකී නොයයි.හඳ පත්ලෙහි බිඳක් හෝ ශේෂව පවතී.

නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා

ඔහු ඇයගේ දෙනත දෙස බලයි. එහි අනුරාගයක් සේයාවක්වත් දැකගත නොහැක.ඒ වෙනුවට ඇයගේ දෙනතින් දයාව වෑහේ.දැන් ඇය දරුවන් ලැබූ පිරිපුන් ගැහැණියකි.ඇයට ජීවිතය යනු කුමක්දැයි පෙරට වඩා වැටහේ. ඔහු අවිහිංසක ලෙසින් ඈ දෙස බලමින් සිනාසෙයි.ඇයගේ මෙන්ම ඔහු තුළ ද අනුරාගයක්  නොමැත.ඇය මෙන්ම ඔහු ද තම අහිමි වී ගිය ප්‍රේමය උපේක්ෂාසහගත ලෙසින් විඳ දරාගනී.වර්තමාන  පෙම්වතුන්ට කළ නොහැක්කේද මෙයමය.ඔවුහු ප්‍රේමය ඉදිරියේ හැසිරෙනුයේ එක්කෝ ළඳරුවන් මෙනි,නැතිනම් උන්මත්තකයින් ලෙසිනි.පිහියත්,වහ කුප්පියත් ගෙන ප්‍රශ්න විසඳිය නොහැකි බව තේරුම් ගන්නේ නම් ඒ ඔවුන්ගෙන් කීයෙන් කීදෙනෙකුද?බොළඳ සීනිබෝල නවකතාද?මෙගා නාටකයන්ද ඔවුන්ගේ මේ බොළඳ හැසිරීමට වගකිව යුතු නොවේද?ඔවුන් තරුණ,තරුණියන්ගේ පමණක් නොව පාසැල් යන දරුවන්ගේද ඔළුගෙඩි වලට කුණුකන්දල් බහාලති.එනයින් බැලූ කල එවැනි විකෘති වූ මනසකින් බලන්නවුන්ට මෙවැනි සුභාවිත ගීයන් ගීතයන් ලෙසින් පෙනේදැයි සැකසහිතය.එහෙත් සුභාවිත ගීතයන් රසවිදින රසිකයින් යම් පිරිසක් සිටින බැව් හැඟී ගිය හෙයිනුත් ඔවුන්ගෙන් ලද ඉල්ලීමුත් හේතුවෙනි මෙවන් පළකිරීමට මා පෙළඹුනේ.

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා

ලොකයේ තිබෙන්නා වූ සියල්ලම වෙනස් වේ.එය වූ කලී ලෝක ස්භාවයයි.එදා සිටි ඔබ මා නොව අද සිටිනුයේ.ස්වරූපයෙන් පමණක් නොව සිතුවිලි වලින් ද වෙනස්ය.එදා සිතූ පරිදිම ද අද අප සිතනුයේ?මොවුන්ට එම තත්වය එසේමය.ඔවුන්ට නොකියා කාලය සොරෙන්ම පියමන් කර ගොසිනි.ඔවුන්ටද අදහාගන්නටත් බැරි ලෙසින් ඔවුන්ගේ රුව ද මැකී ගොසිනි.සැබවින්ම ජීවිතයේ ස්භාවය යන්නේද එයම නොවේද?එම කාලය තුළ ජීවිතය යනු කුමක්දැයි යන්න වටහා ගැනීමට ඔවුන් සමත්ව ඇතුවා නොවේද?එසේම  ජීවිතයේ අනිත්‍යය පිළිබඳව දාර්ශනික චින්තාවක්ද මෙම ගීතයෙන් පිළිඹිබු වේ.

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා

කොතරම් වේගයෙන් කාලය වියැකී ගියද තවමත් සුන්දරත්වය ඈ සතුය.නාමල් පුබූදිනවා යන්නෙන් ඇය තුළ එදා මෙන්ම අදද පවතින්නා වූ සුක්දරත්වය සංකේතවත් කරයි. කථකයාට තවමත් ඈ තුළින් ප්‍රේමය නම් මධු මලෙහි සුගන්ධය  වහනය වේ.එම සුගන්ධය කථකයා අතීතය වෙතට ඇදගෙන යයි.ඔහුට කලකට පෙර තමන් නොකා නොබී ඈ වෙනුවෙන් කළ ප්‍රේමය.ඔහුට සිහිවේ.ඒ අතීත ප්‍රේමයේ මතකයන් සමඟින් තවමත් ඔහුගේ හඳ තදින් බැඳී ඇත.එකී අතීත මතකයන් ඔහුගේ හදවතට ශෝකයක් එක් නොකරයිද?

රසික හඳ කම්පනය වන අයුරින් මෙම ගීතය ගායනා කිරීමට අමරදේවයන් සමත් ව ඇතිවා සේම මෙම ගීතයට විශිෂ්ට අයුරින් සංගීතය එක් කරලීමටද ඔහු සමත් වී ඇත. මෙම ගීතය තුළින් ඔහු සතු විශිෂ්ට ගායන හැකියාව සේම අද්විතීය සංගීත ඥානයද මැනවින් සනාථ වේ.එසේම මෙහි ගේය පද රචනය සුනිල් සරත් පෙරේරාගෙනි.මෙහි ගේය පද රචනාව තුළින් ඔහු සතු ප්‍රතිභාව මැනවින් ස්ඵූට වේ.එසේම මෙම ගීතය තුළින් අහිමි වී ගිය ප්‍රේමය වුවද උපේෂාසගතව විඳ දරා ගත යුතුය යන පණිවිඩය රසිකයාට සූචනය කරවයි.එය වූ කලී ඉවසිලිවන්ත භාවයෙන් තරමක් හීන වත්මන් පරපුරට ලබාදෙන්නා වූ අගනා පණිවුඩයක් නොවන්නෙහිද?

මෙම ගීතයට පහතින් සවන්දෙන්න.







1 comment:

  1. ඔහු පෙම් කළ යුවතිය ඔහුගේ බිරිය බවට පත් වූයේ නම් ඉහත කී තත්වය උද්ගත විය නොහැකිද?
    විවාහය හරහා බිරියක මවක බවට පත් වීම තුළ පෙම්වතිය මිය යා නොහැකිද? ඔහු ඇයට දක්වන සමීප භාවය තුළ ඔහුගේ බිරිය වීමට ඇති ඉඩ කඩ වැඩිය .ඇය මවක ව්වීම තුළ රාගය වෙනුවට කෝළය ඉස්මතු නොවූයේ ද? "මේ ළමයිත් ඉන්නව .එන්න එපා කෝලම් කරන්න." වගේ හැගීමක් .

    ReplyDelete