Friday, October 30, 2015

නින්ද නැති රැයේ



               

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී  ‍රෝස පෙති කඩා හැලේ

කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ




පෙම්වතුන් එක්වීමෙන් සොම්නසක් හටගන්නා සේම පෙම්වතුන්ගේ වෙන්වීමෙන් එහි විසංවාදය වන දොම්නස ඇතිවේ.එසේ එක්වන්නට නොලැබී වියෑකී යන ප්‍රේමය ඔවුන්ගේ ප්‍රථම ප්‍රෙමය නම් හටගන්නා වියෝ දුක කොතරම්ද?මෙම ගීතයේ පුරාවටම දැකගත හැක්කේ විප්‍රලම්භ ශෘංගාරයයි.විප්‍රලම්භ ශෘංගාරය යනු පෙම්වතුන් වෙන්වීම හේතුවෙන් ඔවුන්ගේ හද තුළ හටගන්නා වියෝ දුකයි.
නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලේ නිල් එළිය නිවේ
වැහි බිංදු වැටේවී  ‍රෝස පෙති කඩා හැලේ

පරාජිත පෙම්වතාට සේම පෙම්වතියටද නින්දක් නොමැත.තමා නොලද හෙයින් තම පෙම්වතිය වැළහින්නියක මෙන් වැළපෙන බැව් ඔහු ඉවෙන් මෙන් දනී.අනෙක් අතට සෑබෑවටම පෙම්කරන්නන්ට තම පෙම්වතාට හෝ පෙම්වතියට දුකක් පැමිණි කල්හි ඒ බැව් ඉවෙන් මෙන් දැනගනී.ඒ වනාහි ප්‍රේමයේ මහිමයයි.ජීවතය පුරාවටම අප විසින් ප්‍රථම වරට කරන දෑ මතකයේ රැඳී තිබේ.කොතරම් දෑ අළුතින් සිතෙහි තැන්පත් වුවද එකී සුවිශේෂී මතකයන් පහසුවෙන් මැකී නොයයි.එසේ වන කල්හි ප්‍රථම ප්‍රේමය කෙසේ නම් සිතෙන් වියැකී යන්නේද?ඇය හඩන්නේ සැඟවීය.මන්ද ඈ අන්සතු වී ඇති හෙයිනි.ඇයට එළිපිට හඩා වැළපෙන්නට ඇයට දැන් වරම් නොමැත.ඇගේ දෙනෙතින් කඩාහැළෙන  කදුළු මීදුමකින් වසාගත්තාක් මෙන් ඇගේ දෑස වසාගෙන ඇත.තාරකා දිය යනු ඇගේ දෙනෙතින් ගලන කදුළුය.එකී කදුළු ඇගේ නිල් පැති දෑසේ තිබෙන්නා වූ කාන්තිය සඟවා දමයි.මේ තුළින් ඇගේ අධ්‍යාත්මය තුළ රජයන හෝකය කොතරම් දැයි ධ්වනිත නොවන්නේද?
කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේම අවදි වී යා යුතුව තිබේ...

තනිවූ පෙම්වතා සිටිනුයේ හුදාකලාවෙනි.ඔහු සමඟ වෙනදා මෙන් ඈ නැති හෙයින් ඔහුගේ ගත සිත සීතලෙන් වෙළාගනී.ඔහුට ඇග් ඔණුසුම වෙනදා මෙන් අවැසිය.එහෙත් ඔහුට ඊට වරම් නැත.ඹහු දෙනෙත් පියාගෙන සිහිනෙන් ඇගේ උණුසුම විඳගනී.නමුත් ජීවිතය යනු එසේ සිහිනයක් නොවන බැව් ඔහුට සිහිවේ.මන්ද  පසුදින උදෑසනින් ඔහු කළ යුතු දෑ බොහෝය!සිහින දැක දැක සිටින්නට ද ඔහුට ඉඩක් නැත.සැබවින්ම පෙම්තුන් හා පෙම්වතියන සිටිනුයේ හුදකලා වූ සිහින ලොකයන්හිය.නමුත් එකී සිහින වලින් එළියට අවුදින් මඳක් එඹිකම් කරන කල්හි ජීවිතයේ යථාර්ථය යනු සිහින දැකීමක් නොවන බැව් වටහා ගනී
.
රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එකම හාදුවයි සොදුර  ඒ මගේ
මනෝ ලොකයේ සැරි සැරුවද රැය ගෙවී යන බැව් ඔහුට දැනේ.සඳ නිවී යෑම යනු සඳ කෙමෙන් කෙමෙන් බැස යෑමයි.ඔහුට ජීවිතයේ තවත් බොහෝ දුර යා යුතුව ඇත.ඔහු ඊට ඇගෙන් අවසර පතවි.මන්ද තවමත් ඇය ඔහුගේ සිතේ සිටින එකම සොඳුරියයි.මලක් නොමැති ගස යනු විකසිත නොවූ ඔවුන්ගේ ප්‍රේමයයි.පුෂ්ප හට නොගන්නා ගසකින් ප්‍රෙයා්ජනයක් නැත්තා සේම,විකසිත නොවූ ප්‍රේමයෙන් කුමන සතුටක් ඇතිවේද?ඔහුට විඳ ගැනීමට ඇත්තේ ගසේ කටු හෙවත් බිඳීගිය ප්‍රේමයේ දුක්බර මතකයන් පමණි.නමුත් ඔහු තම දෙතොලින් එය විඳගනුයේ අහිමි වී ගියද එම ප්‍රේමයට තවමත් ඹහු පෙම්කරන බැවිනි.

විශාරද ගුණදාස කපුගේ ශරීන්ගේ ගායනයෙන් මෙන්ම නාද රටාවෙන්ද හැඬවූ මෙම ගීතයේ මනරම් ගේය පද රචනය රත්න ශ්‍රී විජේසිංහයන්ගේ පන්හිදෙනි.එසේම මෙම ගීතය දෙවරක් පටිගත කළ කරන ලද බැව් දයානන්ද රත්නායක මහතාගේ ලිපියක සටහන් වී තිබෙනු මා දුටුවෙමි.ඒ පිළිවෙළින් 1976 වර්ෂයේ හා 1985 වර්ෂයේය.මුල් පටිගත කිරීම එතරම් සාර්තක නොවූ තැන නැවත නව තනුවක් යොදා කපුගේ විසින් නැවත ගායනා කර ඇති අතර එය අතිශයින්ම ජනප්‍රිය විය.


ගීතයට මෙතනින් සවන් දෙන්න 

No comments:

Post a Comment