Saturday, October 17, 2015

ළඳුනේ.....ළඳුනේ.....



ළඳුනේ //
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ.....

නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි...

පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ

ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...


අමරසිරි-කේමදාස සුසංයෝගයෙන් බිහිවූ තවත් අගනා ගී මිණකි, ම විසින් රසවින්ය කරන්නට තෝරාගනු ලැබුවේ.එසේම මෙම ගීතය ඇසෙන මොහොතක් මොහොතක් පාසා අපහඳවත කම්පාවට කරන ගීකයකි මෙය.මෙහි ගේය පද රචනාව අධිනීතිඥ රන්බණ්ඩා සෙනෙවිරත්නයන්ගෙනි.ස්වර රචනය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගෙනි.මෙම ගීතයට මධුර හඩින් ජීවය දෙනු ලබන්නේ විශාරද අමරසිරි පීරිස් විසිනි.
  ගණිකා වෘත්තිය ලොව පැරණිම වෘත්තියක් ලෙසින් සැලකේ.බුදුන් වැඩසිටි සමයේ පවා අභිසාරිකාවන් නැතිනම් ලිංගික ශ්‍රමිකයින් සිටි බැව් බෞද්ධ සාහිත්‍යයයේ සඳහන් වේ.ඔවුන්ට බුදුන්වහන්සේගේ කරුණාව හා පිහිට හිමිවිය.නමුත් වත්මනයේ වීදි සරනා තරුණියන්ට කාගෙන් නම් පිළිසරණක් ලැබෙන්නෙහිද?සැබවින්ම එය වෘත්තියක් ලෙසින් සැලකිය හැකිද?යන ගැටළුව මම ඔෙබෙන් අසන්නෙමි.තමන්ගේ උතුම් ස්ථ්‍රීත්වයවිකුණාගැනීමට යුතුද?කෙසේ නමුත් ලංකාව තුළඳ ගණිකා වෘත්තිය නීතිගත කළ යුතුය යන මතය ඇතමුන් විසින් දරයිතනමුත් එය ලංකාව වැනි රටකට එවැනි සංස්කෘතියක් උචිතද යන්න්මඳක් විමසා බැලිය යුතුය.මෙම වෘත්තියේ යෙදෙන බොහොමයක් තරුණියන් එහි නියැලෙන්නේ තම කැමැත්තෙන් නම් නොව,වෙන කරන්නට යමක් නොමැති නිසාය.එවැනි කතුන් දවසට සිය දහස් වාරයක් මනසින් මියැදෙයි. .එබඳු අවිහිංසක යුවතියකගේ ශෝචනීය දිවියෙන් බිඳක් මෙම ගීතයට වස්තු විෂය වී ඇත.මෙම යුවතිය පිළිබඳ රසිකයාගේ සිත් සතන්හි පහන් සංවේගයක්,කාරුණ්‍යයක් ජනිත කරවීම කවියාගේ අරමුණ වූ බැව් පෙනේ.එසේම එවැනි වෘත්තියන්හි යෙදෙන කාන්තාවන් දෙසද අනුකම්පා සහගතව බැලිය යුතුය යන මහඟු පණිවිඩය කවියා සමාජගත කරයි.
ළඳුනේ //
ඔබේ දෑස දැකගත්තෙමි
සැඳෑ කලෙක ළඳුනේ..
දෙනෝදහක් අතගත්තද
සැමියකු නැති ළඳුනේ.....
ගීතය සමාරම්භක වනුයේ ළඳුනේ යනුවෙන් යුවතියට කරනු ලබන සොඳුරු ආමන්ත්‍රණයෙනි.අබිසරුලියකට කවුරුනම් එසේ ආමන්ත්‍රණය කරයිද?වේසියක්,බඩුවක් යන බහත් වචනයලින් ඈ ආමන්ත්‍රණය කරනු විනා ඇයට ලඳක යැයි කවුරු නම් ආමන්ත්‍රණය කරයිද?එයින් ප්‍රතීයමාන වනුයේ කවියා තුළ ඇය කෙරෙහි හටගත් දයාවයි.ඇයගේ අවිහිංසක දෑස කථකාට දර්ශනය වනුයේ සැඳැවකය.එකී සැඳව,ඇගේ අඳුරු වී ගිය ජීවිතය සංකේතවත් කරන්නක් බඳුය.දහදක් දෙනා ඇය සමඟ රාත්‍රිය ගත කළඳ ඇයට සැමියකු නොමැත.ඇය ලක්වී වී ඇති ඉරණම කොතරම් සෝචනීයද?
නෑයෙක් නෑකම නොකියන
වීදි සරණ ළඳුනේ
තෙල් මල් ගෙන දෝතපුරා
මුනිකුටියට පියමං වන
ඔබේ දෑස දැක ගත්තෙමි
සඳෑ කලෙක ළඳුනේ..

බුදුන් දැක නිවන් දකිමැයි
දෙව්-රම යන පාර අහන
ඔබද පටාචාරවකි
ඔබද කිසා ගෝතමියකි...
විදී සරණ ළඳකට කවුරු නම් නෑකම් කියයිද?ඇව සමාජයේ තනි වූ තැනැත්තියකි.ඇයව සමාජය විසින් ඉවත ලා ඇත.ඇය ගේ පමණක් නොව සමස්ත අබිසරුලියන්ගේ දුක්ඛිත ඉරණම ප්‍රතිබිම්බනය කරනු ලබන කැඩපතක් බඳු නොවන්නෙහිද මෙම ගීතය?ඇයට පිහිට වන්නට සමාජයේ කිසිවකු නැත.එහෙයිනි ඇය තෙල් මල් රැගෙන මුනිකුටියට පියමන් කරනුයේ, පටාචාර,කිසාගේතමී මෙන් ඇයට ද බුදුන් වහන්සේගේ පිහිට මිස අන් කවරකුගෙන් පිහිටක්ද?.ඇය බුදුන් දකින්නට ගොස්  ඇතැම් විට පතනු ඇත්තේ තමාට මතු ආත්ම භවයකදී හෝ මෙම ඉරණමෙන් ගැළවෙන්නට හැකි වේවා!යන්න නොවිය හැකිද?
පිරිමින්ගේ පාප කන්දට
දෝස විඳින ළඳුනේ
අඳුරේ පව් කරන දනා
එළියේ රවන ළඳුනේ

ළැම පමනක් ලොවට පෙනෙන
ළය නොපෙනෙන ළඳුනේ
කුහුඹුවකුට වරදක් නැති
වැරදිකාර ළඳුනේ...
සැබවින්ම ඇයගේ පහස සොයා ඇය පසුපස එන්නේ පිරිමිහු නොවන්නෙහිද?එසේනම් ඇයට පමණක් දෝෂාරෝපණය කිරීම යුක්ති සහගතද?ඇය සමඟ රාත්‍රිගත කරන්නවුන් දහවල ඇයට අවමන් නරයි.එය පවු කරායාට ගල් ගැසීමක් නොවන්නෙහිද?ඇයගේ ශරීරය දෙස කමාතුර දෙනෙතින් බලන්නන්ට ඇයගේ හදවතෙහි වේදනාව කෙසේනම් පෙනෙයිද?ඇයගේ පපු පෙදෙස ඔවුන් තම දෑසෙන් දුටවද ඊට යටින් තිබෙන්නා වූ හදවත දකීද?කුරා කුහුඹුවකුට වත් හිංසාවක් කොකළද ඇය සමාජය විසින් වැරදිකාරියක කර හමාරය.
මෙම ගීතය සහෘදයායාගේ මනෝභාවයන් කම්පනය කරයි.මෙම ගීතය රචනා කිරීමට රචකයා පෙළඹී ඇති සිද්ධියද සොචනීය.දිනක් රන්බණ්ඩා මහතා දළදා මැදුර අසල සිටියදී තෙල් මල් රැගත් ළඳක් එතනින් ගමන් කර ඇත.ඇයගේ සැබැ තතු විමසූ ඔහුට ඇය අබිසරු ලියක් බැව් දැනගන්නට ලැබී ඇත.එයින් අතිශයින් කම්පාවට පත් වූ ඔහු එකී අත්දැකීම මෙලෙසින් ගීතයට නඟා ඇත.
එසේම මෙම ගීතය ගායනා කරන්නට සිට ඇත්තේ වෙනත් ගායකයෙකි.නමුත් ඹහුට අදාළ දින ඒමට නොහැනි වූ විට කේමදායන් තම වාද්‍ය වෘන්දයේ සියි විශිෂ්ට වයලින් වාද්‍ය ශිල්පියා වූ අමරසිරි පීරිස් මහතා ලවා ගායනා කරවන ලදි.මෙය ඔහුගේ ප්‍රථම ගීතයයි.ඔහු මෙම ගීතයට උපරිම සාධාරණය ඉටු කරන්නට සමත් වී ඇත.
ගීතයේ වස්තු විෂය හුදෙක් ප්‍රේමයට පමනක් නොවී,මෙවැනි සමාජ ගැටළු පිළිබඳ කතිකාවතත් ගොඩනැඟමට දායක වීම අවශ්‍ය කාරණයකි.එසේම සංගීතය,ගායනය,ගේය පද රචනය යන ත්‍රිලක්ෂණයම පැනවින් ඒකාබද්ධ වූ විශිෂ්ට ගීතයක් ලෙසින් මෙය හඳුන්වා දිය හැකිය.එසේම මෙය සංකීර්ණ රිද්මයකින් යුතුය.ඒකාකාරී ලෙසින් ගලායන රිද්මයක් දක්නට නැත. නෑයෙක් නෑකම නොකියන යන්නත් අඳුරේ පව් කරන දනා එළියේ රවන ළඳුනේ යන්නත් අනෙක් කොටස් වලට වඩා තරමක් වේගයෙන් ගායනා කරයි.රංබණ්ඩා සෙරනවිරත්නයන් අතින් මෙය පළමුව ලියැවුණේ කවියක් ලෙසිනි.පසුවය එය ගීතයක් ලෙසින් රසිකයා හමුවට පැමිණියේ.එය ගීතයකට උචිත වන ලෙසින් කේමදාසයන් අතින් සංශෝධනය විය.ඔහුය ගීතය ආරම්භය ළඳුනේ ලෙසින් වෙනස් කරන ලද්දේ.එය මෙම ගීතයේ සාර්ථකත්වයට බෙහෙවින් හේතු වී ඇති බැව් පෙනේ.



No comments:

Post a Comment