Monday, July 20, 2015

මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන් ඈතින් මතු වෙනවා



ප්‍රේමයේ විරහ වේදනාව හද තුළ සිත්තම් කරලීමට සමර්ථ මෙම ගීතය සුවහසක් රසිකයාගේ සිත දශක ගණනාවන් පුරාවටම ඇඳ බැඳ තබාගැනීමට සමත් වී ඇතැයි කීම යුක්ති යුත්තය.වැඩිහිටි පරපුර පමණක් නොව තරුණ පරපුර ද මහත් සේ ඇළුම් කරන ගීතයත් වශයෙන්  ද මෙම ගීතය හඳුන්වා ලිය හැක.

ප්‍රේමය පෙම්වතුන්ගේ  මුවට හසරුල්ලක් එක් කරලීමට සමර්ථ වන වා සේම පෙම්වතුන්ගේ දෙනත කදුළු කැට වලින් පුරවා ලීමට ද සමත් වන බැව් අප කොයි කවුරුත් හොඳින් දන්නා කරුණකි.මෙම ගීතය තුළින් කියවෙන්නේද තමා පෙම් කළ යුවතිය හිමි නොවනු පෙව්වතකුගේ සිතුවිලි සමුදායක් බව මාගේ හැඟීමයි.ඇතැම් විට තවත් අයකු මෙම ගීතය මීට වෙනස් ආකාරයකින් වුවද රසවින්දන කිරීමට ඉඩ ඇත.කෙසේ නමුදු මා විසින් මෙහිලා සටහන් කරනුයේ මේ ගීතයට සවන් දීමෙන් මා හට ඇති වුනා වූ හැඟීමයි.

පෙර දිනයක මා පෙම් කල යුවතිය
සිය පුතු නලවනවා
මගේම ගීයක් නැලැවිලි ස්වරයෙන්
ඈතින් මතු වෙනවා

කථකයාට දිනක් හදිසියේ මෙන් පෙර දිනයක තමා මුපු හදින්ම පෙම්නල යුවතිය හමුවේ.පුදුමයකට මෙන් එදා ඔවුන් ප්‍රේම කරනා සඳ ඔහුගේ හඬින් ගැයූ ගීත අද ඇයගේ හඬින් ඔහුට ඇසේ.නමුදු ඒ නැලවිලි ස්වරයෙන් මිස පෙම් ගීයක් ලෙසින් නම නොව.ඇය එම ගීතය ගයනුයේ තම පුදු සනහාලීමටය.නමුත් එය අසනා කථකයාගේ හඳ සසල වේ.මන්ද ඔවුන්ගේ අතීත ප්‍රේමයේ ශේෂ පත්‍රයන් එහි සැඟව ඇති හෙයිනි.දෛවය පුදුමාකාරය.කෙසේ නමුදු අතීත ප්‍රේමයේ මතක සටහන් ඔහු තුළ මෙන්ම ඈ තුළද ඇතුවා නිසැකය.



නුරාව වෙනුවට ඉඳුනිල් දෙනයන
දයාව වෑහෙනවා
සිනාසුනෙමි මම අවිහිංසක ඇය
කෝල බැලුම් හෙලුවා



ඔහු ඇයගේ දෙනත දෙස බලයි. එහි අනුරාගයක් සේයාවක්වත් දැකගත නොහැක.ඒ වෙනුවට ඇයගේ දෙනතින් දයාව වෑහේ.මන්ද දැන් ඇය දරුවන් ලැබූ පිරිපුන් ගැහැණියකි. ඔහු අවිහිංසක ලෙසින් ඈ දෙස බලමින් සිනාසෙයි.ඇයගේ මෙන්ම ඔහු තුළ ද අනුරාගයක්  නොමැත.ඇය මෙන්ම ඔහු ද තම අහිමි වී ගිය ප්‍රේමය උපේක්ෂාසහගත ලෙසින් විඳ දරාගනී.වර්තමාන  පෙම්වතුන්ට කළ නොහැක්කේද මෙයමය.

හිරුට සඳුට නොකියා හොර රහසේ
කාලය වියැකෙනවා
නෙත් අදන්නට බැරි ලෙස රූසිරි
කෙමෙන් මැකි යනවා


ලොකයේ සියල්ලම වෙනස් වේ.එය ලෝක ස්භාවයි.එදා සිටි ඔබ මා නොව අද සිටිනුයේ.ස්වරූපයෙන් පමණක් නොව සිතුවිලි වලින් ද වෙනස්ය.එදා සිතූ පරිදිම ද අද අප සිතනුයේ?මොවුන්ට එම තත්වය එසේමය.ඔවුන්ට නොකියා කාලය සොරෙන්ම පියමන් කර ගොසිනි.අදහාගන්නටත් බැරි ලෙසින් ඔවුන්ගේ රුව ද මැකී ගොසිනි.සැබවින්ම ජීවිතයේ ස්භාවය යන්නේද එයම නොවේද?එම කාලය තුළ ජීවිතය වටහා ගැනීමට ඔවුන් සමත්ව ඇතුවා නොවේද?

එදා වගේ තවමන් වැට අද්දර
නාමල් පූබුදිනවා
නොකා නොබි දුක් වින්ඳ අතීතය
යළි මට සිහිවෙනවා

කොතරම් වේගයෙන් කාලය වියැකී ගියද තවමත් සුන්දරත්වය ඈ සතුය.තවමත් ඈ තුළින් ප්‍රේමය නම් මධු මලෙහි සුගන්ධය කථකයාට  වහනය වේ.එම සුගන්ධය කථකයා අතීතය වෙතට ඇදගෙන යයි.ඔහුට කලකට පෙර තමන් නොකා නොබී ඈ වෙනුවෙන් කළ ප්‍රේමය.ඔහුට සිහිවේ.ඒ අතීත ප්‍රේමය තවමත් ඔහුගේ හඳ තදින් බැඳී ඇත.



රසික හඳ කම්පනය වන අයුරින් මෙම ගීතය ගායනා කිරීමට අමරදේවයන් සමත් ව ඇතිවා සේම මෙම ගීතයට විශිෂ්ට අයුරින් සංගීතය එක් කරලීමටද ඔහු සමත් වී ඇත. මෙම ගීතය තුළින් ඔහු සතු ගායන හැකියාව සේම සංගීත ඥානයද මැනවින් සනාථ වේ.එසේම මෙහි ගේය පද රචනය සුනිල් සරත් පෙරේරාගෙනි.හෙි පද රචනාව තුළින් ඔහු සතු ප්‍රතිභාව මැනවින් ස්ඵූට වේ.එසේම මෙම ගීතය තුළින් අහිමි වී ගිය ප්‍රේමය වුවද උපේෂාසගතව විඳ දරා ගත යුතුය යන පණිවිඩය රසිකයාට සූචනය කරවයි.


No comments:

Post a Comment