Saturday, September 19, 2015

මං එනතුරු ඉඳිකඩ ලඟ ඉන්නවාද අම්මේ.......







දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ

පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා

බිරිඳකගේ සෙනෙහේ ගියා
යෝද ඇළේ නැම්මේ
නුඹ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ලඟ
ඉන්නවාද අම්මේ.......




සිංහල ගීත සාහිත්‍යෙය් එතෙක් මෙතෙක් බිහිවූ  මව් ගීතයන් අතුරින් ඉතා විශිෂ්ට මවුගුණ ගීයක් ලෙසින් මෙම ගීතය හඳුන්වාදිය හැකිය.මව වෙනුවෙන් කළ හැකි උපරිම උපහාරය මෙම ගීතය මඟින් පුද කර ඇත.

දවසක්‌ පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්‌සා
තුරුලේ හංගාගෙන මා
ඔබ තෙමුනා අම්මේ
මෙම ගීතය අපට බෞද්ධ සාහිත්‍යයයේ එන පටචාරව සිහි කරයි.දිනක් තම මාපියන් බැලීමට ගිය ඈද මහ වරුසාවකට හසුවිය.ඈ තම දරුවන් වැස්සට නෙිතෙමෙන පරිදි රක්ෂා කළේ ඈ මහ වරුසාවට තෙමෙමිනි.මෙම ගීතයේ එන කථකයාගේ මවද එවැනි උත්තරීතර මාතාවකි.පැල නැති හේන යනු සංකේතයකි.එය පියා නැති ඔවුන්ගේ අනාරක්ෂිත ජීවිතය සංකේතවත් කරන්නකි. පටාචාරව මෙන්ම මෙම කථකයාගේ මවටද මුහුණ දුන්නේ අකාල මහ වරුසාවකි.එය ආර්ථික දුෂ්කරතා,නින්දා,අපවාද වැනි නොයෙකුත්දේ ඔවුන් වෙතට රැගෙන ආවකි.පියෙකු නැති නිවසට එල්ල වන කරදර හිරිහැර මෙතෙකැයි කියා කිව හැකිද?නමුත් ඈ ද අතීතයේ පටාචාරාව තම තුරුලේ දරුවන් සඟවාගෙන ඔවුන් රක්ෂා කළා සේම මෑ ද එකී අඟහි ඟකම් නමැති වැස්සෙහි තෙමෙමින්,ඪට හොඳහැටි හෙම්බත් වෙමින්,කථකයා එකී කම්කොටළු වලින් සඟවාගෙන ඔහු රක්ෂා කළේය.


පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ
නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණදා

බිරිඳකගේ සෙනෙහේ ගියා
යෝද ඇළේ නැම්මේ
නුඹ සෙනෙහස සුවඳ දිදී
දැනුනා මට අම්මේ

ඈ එසේ කළා පමණක් නොව,එකී අකල් මහ වරුසාව පායන තෙක්ම ඔහුගේ ළඟින්ම නොසෙල්වී සිටියාය.ඔහු ජීවිතයේ හිණිපෙත්තටම නැඟිනා තුරුම ඔහු පසුපසින් හෙවණැළ්ලක් සේ ඈ සිටියාය.ඔහුගේ ජීවිතයට නැවතත් අකල් වරුසාවක් ඇඳ හැලේ ඒ වනාහි නින්දා වරුසාවකි.සුකේදී මෙන්ම සැපේදී මව ඔහු අසළින්ම සිටියාය.මවගේ උත්තරීරත්වය කවියා අපූරුවට උද්දීපනය කර ඇද්ද?එදා මෙන් ඔහු එකී වැස්සෙන් සඟවාගෙන රක්ෂා කරන්නට මව නැත.ඔහු ළඟ මෙදා සිටිනුයේ බිරිඳයි.නමුත් ඔහු සමඟින් එකී නින්දා අපවාදයන්ට මුහුණ දීමට ඈට සවියක් නොවීය. කථකයාඟේ දිවියට ඇඳ වැටුණු නින්දා මහ වැස්සේ ඇගේ සෙනෙහස ද ගසාගෙන ගියේ කථයාද අසරණ කරමිනි. බිරිඳකගේ සෙනෙහේ ගියා යෝද ඇළේ නැම්මේ අපූර්ව කාව්‍යෝක්තියකි.ක්‍රමයෙන් කථකයාට අහිමි වී ගිය තම බිරිඳගේ සෙනෛහස එමඟින් ධ්වනිත වේ. බොහෝවිට යම්කිසි දෙයක අගය වඩාත් හොඳින් අපට දැනෙනුයේ එය අපට අහිමි වී ගිය කල්හිය..කථකයාට තම මවගෙන් ලද සෙනෙහසෙහි අගය එදාටත් වඩා හොඳින් මෙදා දැනේ.එහෙත් ඔහුගේ හිස අතගාමින් ඔහු සනහාලන්නට මව ඔහු ළඟ නැත.

කොළඹ අහස කලුකරගෙන
මුහුදු හුළඟ අඩලනකොට
ඔටුන්න බිමදා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එනතුරු ඉඳිකඩ ලඟ
ඉන්නවාද අම්මේ.......

අනෝරා වැස්සෙන් බැට කා හෙම්බත් වී සිටින ඔහුගේ දිවියට නැවත්ත් වැස්සක් සම්ප්‍රාප්ත වීමට නියමිතය.කොළඹ අහස කලුකරගෙන,මුහුදු හුළඟ අඬලන කල ඔහුට ඇදහැලෙන්නට යන වැස්ස දැනේ.එනමුත් ඔහු රැකලන්නට ඔහු අසල කිසිවෙකු නැත.එහෙයිනි මවගේ සෙසෙහසේ සුවඳ සිහිවී එක පිම්මේ මව තුරුලට දුව යන්නට සැරසෙන්නේ.ඔහු මව් සෙනෙහස  නැවත විඳගන්නට යන්නේතමා මෙතෙක් අත්පත්කරගෙන තිබෙන්නා වූ ධනයථබලය,කීර්තිය යන මේ සියල්ලම අතහැර දමායතඒ කිසිවකින් ඔහුට ඵලක් නැත.ඒ කිසිවකට මව මෙන් ඔහු රැකගන්නට නොහැනි විය.මේ වනාහි අප මුහුණ දී තිබෙන ජීවිතයේ කටුක යථාර්ථය නොවන්නේද?කවියා එකී දාර්ශනික චින්තාව අපට හෙළිකරණුයේ මුණිවරයකු මෙනි.මෙහි කථකයා පිළිබඳ විමසන කල්හි අපට මහගමසේකරයන්ගේ ප්‍රබුද්ධ නම් පද්‍යයේ එන ප්‍රබුද්ධ සිහිවේතඔහු ධනය ,කීර්තිය තමා අත්පත් කරගෙන සිටි හරසුන් දේ අතහැර තමා මවගේ සෙසේහසේ සුවය විඳගන්නට එන්නේ මෙහිකථකයා මෙනි.නමුත් ප්‍රබුද්ධ එන කල ඔහු පෙර මෙන් තුරුළට ගෙන සනසන්නට ඔහුගේ මව ජීවතුන් අතර සිටියේ නැත.කෙසේ නමුත් මෙහි කථකයා තම මවගෙන් විමසා සිටිනුයේ පෙර මෙන් තමා එනතුරු ඉඳකඩ ළඟ ඉන්නවාද? කියායි.ඉඳිකඩ ඔහු අතීතයේ ජීවත් වූ සොඳුරු ග්‍රාමය සිහි කරයි.
රණ්බණ්ඩා සෙනෙවිරත්න කවියා අතින් ලියැවුණු මෙම ගීතය සංගීතවත් කරමින් ගායනා කරනුයේ සිංහල ගීතයේ නොමැකෙන සටහනක් තැබූ විශාරද ගුණදාස කපුගේ සූරින් විසිනි.මෙකී මණරම් ගී කාව්‍යය අරධයා අප හද කම්පා නොකරයිද?







ශිල්ප සොඳින්...






ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ... //

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ

ශිල්ප සොඳින්...

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බමරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

ශිල්ප සොඳින්...//


තම පෙම්වතියගෙන් තාවකාලිකව හෝ වෙන්ව,එසේත් නැතිනම් ඈත්ව සිටීමට සිදු වූ කළ පෙම්වතකුතුළ කොතරම් වියෝ දුකක් හටගනීද?එකී අත්දැකීමට මුහුණ පෑ අවිහිංසක පෙම්වතකුගේ සිතට නැඟුණා වූ ශෝචනීය මනෝභාවයන් සමූහයක් මෙම ගීතය තුළින් ප්‍රකාශිතය.
ශිල්ප සොඳින් දැනගන්න ගිහින් නුඹ
යහතින්දෝ කොළොම්පුරේ
ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට
නුඹ නැති හන්දා මං තනියේ... //

ඈ ඔහුගෙන් ටික කලකට සමුගෙන කොළඹට පිටත් වූයේ වැඩිදුර අධ්‍යාපන  උදෙසාය.ඔහු ද දුකින් හෝ ඊට මනාපය පළ කළේ ඇගේම අනාගත සුබසිද්ධිය උදෙසාය.ඇතැම්විට ඇය සරසවි අධ්‍යාපනය ලබාගැනීම උදෙසා විය හැකිය.ඇයට තමා ගමෙහි තනිකර දමා කොළඹ ඒමට ඉඩ දුන්නද ඔහු ඒ පිළිබඳ යටිහිතින් දුක්විඳී.එසේම ඈ පිළිබඳ ඔහු සිටිනුයේ බියෙනි.ඇය සුවෙන් පසුවනවාදැයි දැනගත නොහැකික ඔහු සිටිනුයේ ශෝකයෙනි.එදා ඈ සමඟින් කල්ගෙවූ ග්‍රාමය අද ඔහුට ශේෂ කොට ඇත්තේ,හුදෙකලාව පමණකි.එකී හුදකලාව විසින් ඔහුගේ සිත කුරිරු ලෙසින් තලා පෙලා දමයි!ඇය නොමැති නිසා ඔහුගේ සිත කොතරම් තැලී ඇද්දැයි යන්න ඔහුට ජීවත්වීමේ ආසාව පවා නොමැති බැව් කීමෙන් පෙනේ!. ඉන්න නොවේ මියැදෙන්න හිතයි මට යන්න ගැමි වහරින් උකහාගත්භාව පූර්ණ යෙදුමකි.ඒ තුළින්ඹහු  ග්‍රාමීය පෙම්වතකු බැව් ධ්වනිත වේ.එසේම ඔහු සතු ශෝකය කොතරම් දැයි හැඟීයයි.

හැන්දෑ අවරට දැක්කද නංගෝ
තුරුළු වෙලා ඉන්නා ජෝඩූ
රංචු මිසක තනියෙන්ම නොයන්නේ
ඒ නුවරට උඹ කිරිකෝඩූ
ගමේ මෙන් නොව කොළොම්පුරේ පෙම්වතුන් එළිමහනේ,නිදහසේ කල්ගෙවයි.ඒ සඳහා පෙම්වතුන්ට ඕනෑ තරම් ස්ථාන ද ඇත.ඈ සැන්දෑ කළ සැරසරන විට තරණු පෙම්වතුන් එකිනෙකාට තුරුළු වී ,පෙම්බස් දොඬමින් සිටිනු දකිනු ඇතැයි ඔහු බිය වෙයි.සේ සිටින්නටඇටත් සිතිනහොත්?කොළඹ වැනි නගරයන්හි විවිධාකාරයේ පුද්ගලයින් සටී.ඇතැම් තරණයින් රැවටීමට උපන් හපන්නුය.එසේ තරුණියන් ප්‍රේමයේ නාමයෙන් රවටා සිනමාහල් වලට,ලැඟුම්හල්වලට ගෙනගොස් ඔවුන් තරමං කොටදමා පැනයන්නටද ශූරයෝය.අවංක පුද්ගලයින් නොමැති බවක් මෙයින් අදහස් නොකරයි?නගරවල ඇතැම් ධනවතුන්ගේ සෙල්ලක්කාර පුත්‍රයින්ට ගම්වලින් පැමිණෙන අහිංසක යුවතයන් වනාහි කෙළිබඩුය.ගමේ හැඳී වැඩී ලෝකය පිළිබඳ කිසිවක් නොදන්නා ඔවුන් නගරවලට පැමිණි සැනින් එකී භක්ශකයින්ගේ  අමු ගොදුරු ලෙසින් දඬයම් වන්නේ ඉතා පහසුවෙනි.කොළඹට හා හා පුරා කියා පැමිණ සිටින ඇයටත් මේ ඉරණම අත්වුවහොත්?තමා කෙසේ නම් එය එක සිතින් විඳ දරා ගන්නද?එහෙයිනි ඈට තනියම නොයන ලෙසින් අවවාද දෙනුයේ!පැඟිරි වයසේ සිටිනා ඇය ඔහුගේ අවවාදයන් පිළිගනීවිද?කිරිකෝඩු යන්න ඈට කොළොම්තොට නුහුරු තැනක් බැව් කියන්නට යෙදුණු අපූරු යෙදුමකි.

නාමල් සුවඳක් පෙරදා වාගේ
අද නැහැ නොවැ ඇළ ඉස්මත්තේ
නාමල් සුවඳට බමරු ඇදේදෝ
මගතොට නුඹ යනෙනා වාරේ

ඇය නාමල් වියේ පසුවන්නයනි.එහෙයින් ඈ තුළ නාමල් සුවඳ නොහමයිද?එදා ඈ ගැවසුනු ඈ හමුවුණු  ඇළ ඉස්මත්තේ ද නාමල් සූවඳ වහනය වූවාය.එම සුවඳට වශී වී සිටි ඔහු, පෙර පුරුද්දට මෙන් ඇළ ඉස්මත්‍තේ සැරිසරනා ඔහුට පෙරදා දැනුනු නාමල් සුවඳ දැන් නොදැනෙයි.ඒ එහි දැන් ඈ නැති හෙයින් නොවන්නෙහිද?දැන් එම නාමල් සුවඳ දැන් එන්නේ කොළඹ දෙසිනි.ඇය යනෙනා වාරේ ඇඟන් එම සුවඳ හටගනු ඇත.එකී සුවඳට වශීවී ඇඟේ පහස විඳගන්නට බමරු ඇදේදෝයි ඔහු තුළ බිය හටගනී.ඇය සල්ලාල බමරකුට හසුවුවහොත් මහු කමුක් කරන්නද?මෙතුවක් කල් පණ මෙන් රැකගෙන ආපෙම නෙත් අයකු නිසා බිඳ ලන්නද?ඔහු තුළ හටගන්නා වූ බිය අසාධාරණ එකක් නෙිවන්නේ එහෙයිනි.

වසන්ත කුමාර කොඹවකයන්ගේ පද රචනාවෙන් ද විශාරද සුනිල් එදිරිසිංහයන්ගේ ගායන විලාසයන්ද,සුනිල් එදිරිසිංහයන්ගේ හා රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනාවෙන්ද නිර්මිත මෙම ගීතය සිංහල ගීතාවලිය පෝෂිත කරන්නක් ලෙසින් හැඳින්විය හැකිය.